වැටුප් හෝ දීමනා කිසිවක් වැඩි නොකරන බව ඇමතිගෙන් දැනුම්දීමක්..
ඉකුත් දිනයන්හි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් 08 ක් පමණ එකවර ප්‍රමාද වීම හේතුවෙන් එම සමාගමට සිදුවූ පාඩුව රුපියල් කෝටි 195 කට වැඩි බවයි වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ.
ඇමැතිවරයා කියා සිටියේ, මේ හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයන්ට කිසිදු දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට නොහැකි බවයි.
ඇමැතිවරයා මේ පිළිබඳ ප්‍රකාශ කර සිටියේ මෙම ගුවන් ගමන් ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදු වූ අපහසුතාවන් පිළිබඳ කරුණු විමසීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ පාලන අධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවා ඊයේ (02) වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ සිදු කළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
මෙම සමාගමේ ගුවන් මෙහෙයුම් සඳහා තිබෙන ගුවන් යානා 21 සඳහා ගුවන් නියමුවන් 260 දෙනකු පමණ සිටින අතර එක් ගුවන් යානයක් සඳහා ගුවන් නියමුවන් 12 දෙනකු සේවයේ නිරත විය යුතුවේ.
ජාත්‍යන්තර නීති රීතිවලට අනුව ගුවන් නියමුවකු මසකට පැය 100ක කාලයක් පියාසර කළ යුතු වුවත් ලැබී ඇති වාර්තා අනුව පසුගිය කාලය තුළ ශ්‍රීලන්කන් ගුවන් නියමුවකු මසකට පියාසර කර ඇත්තේ පැය 60ක කාලයක් පමණක් බවයි ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.
එක් ගුවන් නියමුවකු මසකට මෙම කාලය අවම වශයෙන් පැය 80 ක් හෝ පියාසර කළේ නම් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.
පසුගියදා සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඇමැතිවරයා කරුණු විමසූ විට ඔවුන් පවසා ඇත්තේ, ගුවන්යානාවල පැවැති තාක්ෂණික දෝෂ මෙම ප්‍රමාදයන්ට හේතු වූ බවයි.
නමුත් යම් ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එනම් අකුරට වැඩ කිරීම තුළින් මේ තත්ත්වය උදා වූ බවයි ශ්‍රීලන්කන් ගුවන් සේවා පරිපාලක අධිකාරිය කියා සිටියේ.
මෙහිදී අදහස් දක්වා සිටි ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ, වැටුප් හා දීමනා පිළිබඳ ගැටලුවක්ද මෙම වෘත්තීය සමිති තුළ තිබෙන බව තමා දන්නා බවයි.
මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක්ද ගෙන ඇති බවත් ඒ සඳහා පොලියක්ද, ගෙවිය යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.
නමුත් ඇමැතිවරයා මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයන්ට අවධාරණය කර ඇත්තේ, ගුවන් සේවාවේ ඵලදායීතාව වැඩි කළහොත්, ඵලදායිතාව මත පදනම්ව යම් ගෙවීමක් සිදු කළ හැකි බවයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවාවට තිබෙන අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන්ටත් මෙම ගුවන් ගමන් වාර සේවා පැවැත්වීමට අයිතිය ලබා දීමට තීරණය කළ බව ද ඔහු මෙහිදී පවසා ඇත.
අනෙකුත් ගුවන් සමාගම් සඳහාද 5 TH FREEDOM RIGHT හෙවත් මෙරට සිට වෙනත් රටකට මගීන් ප්‍රවාහනය කිරීමේ අයිතිය ලබා දීමට සිදු වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
මෙම සාකච්ඡාවකට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ, අධ්‍යක්‍ෂ ජනරාල් පී.කේ. ජයකාන්ත යන ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී සිටියහ.