සුදු වෑන් නඩුව ගැන දුන් නියෝගය..

By Sithumi May 30, 2022 10:58 AM GMT
Report

සුදුවෑන් නඩුව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා මතුකළ මූලික විරෝධතාව පිළිබඳව නියෝගය ලබන මස 7 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය කළේය.

2019 ජනාධිපතිවරණය සමයේ කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශකොට එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අදාළ නඩුව ගොනුකර ඇත. 

 මෙම නඩුව මීට පෙර විභාගයටගත් අවස්ථාවේදී එහි පළමුවන විත්තිකරු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට කරුණු ඉදිරිපත් කර තිබුණි.

එම මූලික විරෝධතාවය තුළින් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෙම අපරාධයට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර නොමැති නිසාත් ඔහු පොලීසියට ප්‍රකාශයක් ලබාදී නොමැති නිසාත් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවය.

මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් අද (30) සිය ප්‍රතිචාරය ඉදිරිපත්කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා, විත්තිය විසින් ඉදිරිපත් කරන මූලික විරෝධතාව පදනම් විරහිත බව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Joinnow