ජනාධිපතිවරණයට මොකද වෙන්නේ.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක්..

Ranil Wickremesinghe Presidential Update Sri Lanka Presidential Election 2024
By Sithumini Jul 05, 2024 12:15 PM GMT
Report

දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික   ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් ද මෙම අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදි අතරමැදි පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 03 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05 ක් දක්වා අඩු කර තිබෙන බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වාදී තිබෙනවා.

ඔවුන් චෝදනා කරන්නේ ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත්ය.

එමෙන්ම සිය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවෝ චෝදනා කරනවා.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට තමාට අවසර දෙන ලෙසත් තමන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකාබලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි අදාළ පෙත්සම ගොනුකර තිබුණා