විශ්‍රාමිකයන් 154,000කගේ ප්‍රශ්නයට විසඳුම් කෝ? - සජිත්ගෙන් පොරොන්දුවක්

Sajith Premadasa Government Employee Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 20, 2026 11:55 AM GMT
Report

රටේ සංවර්ධනය වෙනුවෙන් දශක ගණනාවක් කැපවී සේවය කළ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැනීමෙන් පසු වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ ගැටලු අමතක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

රාජ්‍ය සේවය තුළින් රටට විශිෂ්ට සේවාවක් ඉටු කළ විශ්‍රාමික ප්‍රජාවට ගෞරවය හා සාධාරණය හිමිවිය යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව ද සඳහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (20) පාර්ලිමේන්තුව ආසන්නයේ පොල්දූව මංසන්ධියේදී විශ්‍රාමිකයන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වෙමින්.

විශ්‍රාමිකයන් 154,000කට අධික පිරිසක් ගැටලුවක

2020 සිට 2024 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය 154,000කට අධික පිරිසක් වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දී සිටින බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නා.

එම විෂමතා නිවැරදි කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවට චෝදනා කළ ඔහු, පසුගිය කාලය පුරා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේ සම්බන්ධයෙන් තමන් හඬ නැඟූ බව සඳහන් කළා. විපක්ෂයේ සිටින විට විශ්‍රාමිකයන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටින ඇතැම් පාර්ශ්ව බලයට පත්වීමෙන් පසු එම ගැටලු අමතක කරන බව ද ඔහු විවේචනය කළා.  

වැටුප් විෂමතා නිවැරදි කිරීමේදී භේදයක් නොතිබිය යුතුයි

වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා ලබාදෙන සහන කිසිදු භේදයකින් තොරව අදාළ සියලුම විශ්‍රාමිකයන්ට හිමිවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළා. විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬ නැඟීම පමණක් නොව, ඔවුන් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට ද සමගි ජන බලවේගය සූදානම් බව ඔහු ප්‍රකාශ කළා. 

විශ්‍රාමිකයන්ට සහන ලබාදීමට මුදල් නැද්ද?

විශ්‍රාමික ප්‍රජාවට සහන සැලසීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රට තුළ පවතින බවට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ම ප්‍රකාශ කරන බව සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා, එසේ තිබියදී විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට ප්‍රමාද වන්නේ ඇයිදැයි ප්‍රශ්න කළා.

විශ්‍රාමිකයන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම්, සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එම වැටුප් විෂමතා නිවැරදි කර සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බවට ද විපක්ෂ නායකවරයා පොරොන්දු වුණා. වසර ගණනාවක් රට වෙනුවෙන් සේවය කළ විශ්‍රාමිකයන්ගේ ගැටලු තවදුරටත් නොසලකා නොහැර, ඔවුන්ට හිමි සහන සහ අයිතිවාසිකම් ලබාදීමට බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.