ගල් අඟුරු පාඩුවේ සිට කාවන්තිස්ස ඇතා දක්වා නාමල්ගෙන් ප්‍රශ්න වැලක්

TATA Namal Rajapaksa Latest Headlines Sinhala news Colombo politics heat up
By R.rishma Oct 20, 2026 11:25 AM GMT
Report

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්ච කොටාගෙන සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා නව පනතක් අවශ්‍ය දැයි ප්‍රශ්න කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ මර්දනකාරී වැඩපිළිවෙළක් බවට චෝදනා කළා.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා නීති හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින්.

සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා නීති සම්පාදනය ගැන කතා කරන ආණ්ඩුව, රටේ සිදුවන වෙඩි තැබීම් සහ ඝාතන සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්, ඔවුන්ට අවි ආයුධ ලබාදෙන පාර්ශ්ව සහ ඔවුන්ට ආරක්ෂාව සපයන පුද්ගලයන් පිළිබඳව විධිමත් විමර්ශන පැවැත්විය යුතු බව ද ඔහු අවධාරණය කළා.

කාවන්තිස්ස ඇතාගේ සිද්ධිය ගැනත් ප්‍රශ්න කරයි

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, එම සිද්ධිය පිළිබඳව මාසයක් හෝ මාස එකහමාරක් ගතවන තුරු ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ බවට චෝදනා කළා.

අලි මංකඩ පිරිසිදු කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා අතරම, වන සතුන්ට වෙඩි තැබීම සඳහා තුවක්කු ලබාදුන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බව ඔහු ප්‍රකාශ කළා. අදාළ අමාත්‍යවරයාගේ උපදෙස් සහ තුවක්කු ලබාදීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතු කළ ඔහු, සිද්ධිය පිළිබඳ වගකීම නිසි ලෙස තීරණය කළ යුතු බව සඳහන් කළා.

එමෙන්ම, අලි ඇතුන් ඇතුළු වන සතුන් ආරක්ෂා කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගනිමින් නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.   

ආර්ථික පීඩනයෙන් ජනතාව අසරණයි

වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කළ නාමල් රාජපක්ෂ මහතා, බදු බර, ජීවන වියදම සහ විරැකියාව හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව ප්‍රකාශ කළා. ආහාර මිල ඉහළ යාම, කර්මාන්තශාලා වැසී යාම සහ රැකියා අවස්ථා සීමා වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, උපාධිධාරීන්ගේ රැකියා ගැටලුවට මෙන්ම ග්‍රාමීය තරුණයන්ගේ රැකියා අවශ්‍යතා සඳහා ද ආණ්ඩුව නිසි විසඳුම් ලබාදිය යුතු බව සඳහන් කළා.

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් පොහොර සහ තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාගැනීම සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දෙන බවත්, එම තත්ත්වය වෙනස් කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා. විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළද, ඇතැම් විදේශ සමාගම් මෙරටින් ඉවත්වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඇතැම් ආයෝජකයන් ඉවත්ව යාමෙන් පසු වන්දි ගෙවීමට සිදුවන තත්ත්වයන් පිළිබඳව ද ඔහු ප්‍රශ්න කළා. 

දිට්වා ආපදා සහන සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු, වන්දි හා සහන ලබාදීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

ගල් අඟුරු ගනුදෙනු පිළිබඳවත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

ගල් අඟුරු නැව් 19ක් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, ඉන් නැව් දෙකක් සම්බන්ධයෙන් පාඩුවක් සිදුව ඇති බවට කරුණු මතු කරමින් ඒ සඳහා වගකිවයුත්තන් කවුරුන්දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන පාඩුවේ බර අවසානයේ විඳීමට සිදුවන්නේ රටේ ජනතාවට බවත්, විදුලි කප්පාදු සහ විදුලි බිල් ඉහළ යාම හරහා එම පීඩනය ජනතාව මත පැටවෙන බවත් ඔහු සඳහන් කළා.

ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ලබාදුන් පොරොන්දු සහ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අතර පරස්පරතා පවතින බවට ද ඔහු චෝදනා කළා. රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමේදී අවශ්‍ය දැනුම හා පළපුරුද්ද සහිත නිලධාරීන් පත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ නාමල් රාජපක්ෂ මහතා, විදුලි සැපයුම ඇතුළු අත්‍යවශ්‍ය සේවා නිසි ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව වගකීමෙන් කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළා.

නීතිය ක්‍රියාත්මක කිරීම ගැනත් විවේචන

නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කළ නාමල් රාජපක්ෂ මහතා, නීති ක්‍රියාත්මක කිරීමේදී වගකීම් එකිනෙකා වෙත පැවරීම වෙනුවට අදාළ සිදුවීම් පිළිබඳව නිසි විමර්ශන සිදු කළ යුතු බව සඳහන් කළා. එමෙන්ම, එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් ඝාතනය කිරීමේ සැලැස්මක් පැවති බවට ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කළා.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ස්ථාවරය පිළිබඳව ද ප්‍රශ්න කළ ඔහු, මීට පෙර ලබාදුන් ජනාධිපති සමාවන් සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීමට ඇති හැකියාව පිළිබඳව විමසා සිටියා.

අවසානයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කළ නාමල් රාජපක්ෂ මහතා, ජනතාවගේ ආර්ථික ගැටලු, රැකියා අවශ්‍යතා, ගොවි ගැටලු සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රායෝගික විසඳුම් ලබාදීම ආණ්ඩුවේ වගකීම බව අවධාරණය කළා.  

පච්චයක් ගැහුවාම අත්අඩංගුවටද.. 80 - 89 මර්දන න්‍යාය නැවත ගේන්නද හදන්නේ? - නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

පච්චයක් ගැහුවාම අත්අඩංගුවටද.. 80 - 89 මර්දන න්‍යාය නැවත ගේන්නද හදන්නේ? - නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි