බ්‍රිතාන්‍ය රජයට වඩා මෙරට රාජ්‍ය මර්ධනය ඉහළයි..?

By Sithumi Sep 27, 2022 11:07 AM GMT
Report

වත්මන් රජය වසර 64ක් පැරණි පනතක් හමස් පෙට්ටියෙන් ගෙන පැරණි නීතිය පවා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය රජයවත් නොකල ආකාරයට ජනතාව මර්දනයට කරමින් සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව දරුණු යෝජනාවක් ගෙනැවිත් ඇතැයි කී මහාචාර්යවරයා ‘අපේම ජනතාව මර්දනයට සැලසුම් සහගතව ගෙන යන වැඩපිළිවෙලේ ඍජු ප්‍රතිඵලයක් ලෙස රට මෙලෙස ජාත්‍යන්තරය හමුවේ අසීරුතාවට පත්වෙනවා’ යැයි ද සඳහන් කළේය. මෙම වැඩපිළිවෙලට එරෙහිව විපක්‍ෂය ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, උපරිම උත්සාහයක් යොදමින් මේ මර්දනාකාරී වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. රට තුළ අධිආරක්‍ෂිත කලාප නම් කර, මිලිටරි කඳවුරක් ලෙස ස්ථාපිත කරනවා නම් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම කළ නොහැකි බව ද ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

මේ සියලු මර්දන සිදුවන්නේ මිනිසුන් නිශ්ශබ්ද කිරීමට බව කී ජී.එල් පීරිස් මහතා රටේ පවතින මන්ද පෝෂණය, ආහාර හා ඖෂධ හිඟය ආදිය ගැන ජනතාවට තොරතුරු හෙළි කරන නිලධාරීන් පවා විමර්ශනවලට බව කියා ගෙන්වා බියකිරීමට උත්සාහ කරන බව ද පැවසීය.