චීන පොහොර මෙරටට ගෙන්වයි...
චීන කාබනික පොහොර අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්‍ෂ පවසයි.
මීට පෙර ගෙන්වා ප්‍රතික්ෂේප වූ පෙහොර නැවට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් නිසා අලුතින් ගෙන්වීමට නියමිත පොහොර නැවට කිසිදු අමතර මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා කියා සිටී.
මුලින් ගෙවූ මුදලට නැවතත් පොහොර ලබාදීමට එම සමාගම එකඟ වූ නිසා ඉන් මෙරටට විශාල ලාභයක් හිමිවන බවද ඇමතිවරයා පවසයි.
අලුතින් ගෙන්වන බව කියන පොහොර නැවේ පොහොර සාම්පල් මෙරටදී සිදුකරන පරීක්‍ෂණවලදී ප්‍රමිතියට නැති බවට තහවුරු වුවහොත් එයද ප්‍රතික්‍ෂේප කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්‍ෂ පවසයි.
චීන පොහොර සමාගමේ ඉල්ලීමට අනුව පොහොර නැවේ සාම්පල් විදේශීය රසායනාගාරයකදී පරීක්ෂා කෙරුණද මෙරට නීති හා අණපනත්වලට අනුකූලව දේශීය රසායනාගාරයකදීද පරීක්‍ෂා කෙරෙන බව ඇමැතිවරයා කියයි.
යම් හෙයකින් මෙරට ශාක නිරෝධායන නීතිවලට අනුගත නොවන ක්ෂුද්‍ර ජීවීන් එම සාම්පල්වල සිටින බව හෙළි වුවහොත් එම පොහොර නැව ආපසු හරවා යවන බවද හෙතෙම පවසයි.
ක්ෂුද්‍ර ජීවීන් නොමැති කාබනික පොහොර ලොව කොතැනකවත් නොමැති බවද ඇමැතිවරයා කියා සිටී.
කාබනික පොහොර තොගවල මෙරට පසට හානිදායක ක්ෂුද්‍ර ජීවීන් සිටිනවාද නැද්ද යන්න පමණක් සොයා බැලිය හැකි බවද හෙතෙම අවධාරණය කරයි.
ඇමැතිවරයා මේ බව පැවසූවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙවර ශාකවල මුලට යෙදිය හැකි දියර පොහොර වර්ගයක් ගෙන්වීමටද අවධානය යොමුව ඇතැයිද ඇමති ශෂින්ද්‍ර රාජපක්‍ෂ කියා සිටී.
දින 26ක් තුළ එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |