මහ බැංකු අධිපතිට සර්ව පාක්ෂික සමුළුවේදි රනිල්ගෙන් කනේ පහරක්...(VIDEO)

Gagana news All Party Conference Ranil wickramasighe Central Bank Governor Ajith Nivard Cabraal
By Subodha Mar 23, 2022 08:28 AM GMT
Report

රටේ මේ වනවිට උද්ගතව ඇති බරපතල ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු දේශපාලනමය සහ ආර්ථිකමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැඳවුණු සර්ව පාක්ෂික සමුළුව අද(23) පැවැත්වුණා.

මෙහිදී සමුළුව ආරම්භ කරමින් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ, මෙම සමුළුව කැඳවනු ලැබුවේ රටේ මේ වනවිට උද්ගතව ඇති අර බරපතල ආර්ථික අර්බුදයට දීර්ඝකාලීන ස්ථාවර විසඳුම් සොයා ගැනීම සඳහා බවයි.

ඒ සඳහා එක් වූ දේශපාලන පක්ෂවලට ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා මේ අවස්ථාවට එක් නොවූ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලටත් මේ සඳහා එක්වන ලෙස ආරාධනා කළා.

ඉන් අනතුරුව සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින් සමුළුවේ අරමුණ පැහැදිලි කරනු ලැබුවේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින්.

මෙහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, 2015 සිට මෙරට ආර්ථිකය බිඳ වැටීම ආරම්භ කෙරුණු බවයි.

එම කාල සීමාවේ පැවැති රජය අමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ණය මුදලක් රටට ඉතිරි කරන අතර වාරයේ විදේශ සංචිත බිලියනය කින් පමණ පහත වැටුණු බවයි.

එමෙන්ම එම කාල සීමාව තුළ දී රටේ සංවර්ධන දර්ශකයන්හි අගය ද පහළ වැටුණු බව ඔහු විග්‍රහ කළා.

ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය හේතුවෙන් සහ කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල කෙරුණු දීර්ඝ කාලීන බලපෑම් ද ඒ හරහා බිඳ වැටුණු ආර්ථිකය ද ඔහු විග්‍රහ කළා.

මෙම දේශනය අවසන් වනවාත් සමඟම අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහබැංකු අධිපතිවරයාගේ ආරම්භක දේශනය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරමින් කියා සිටියේ, මෙම සමුළුව කැඳවා ඇත්තේ පැරණි දේශපාලන මතිමතාන්තර සාකච්ඡා කිරීමට නොවන බවයි.

මේ වන විට රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ අරමුණ බවත් එම අරමුණ පෙරදැරි කරගෙන කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.

එසේ නොමැතිව මහ බැංකු අධිපතිවරයා මෙන් පටු දේශපාලන අරමුණුවල පිහිටා මෙම සමුළුව එකිනෙකාට චෝදනා එල්ල කරන සහ ඒවාට පිළිතුරු සපයන සමුළුවක් නොවිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

"මට මේ සමුළුවට එන්න කියල ආරාධනා කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ශය, විශේෂයෙන් නිමල් සිරිපාල ඇමතිතුමා හමු‌ෙුුුුවෙලා කිවුවා පරණ යාළු කමටවත් මෙතනට එන්න කියලා. 

මේ වගේ සර්ව පාක්ශික සමුළුවක මහ බැංකු අධිපති වගේ පටු දේශපාලනය කතා කරන්න ගියොත් අපිත් උත්තර දෙයි, එතුමත් උත්තර දෙයි අන්තිමට මේක ඉවර වෙන්නෙ විජයගෙන්.

මොකද විජය ආවෙ නැත්නම් මේ ප්‍රශ්න නෑනෙ, ඒ නිසා ප්‍රශ්නෙට විසඳුමක් සොයමු පටු දේශපාලන කතා නොකර"

යනුවෙන් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළා.

පසුව වු අපහසුතාවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාවද අයද සිටියා

දර්ශන අයිතිය - අද දෙරණ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
JOIN NOW