මුදල් අමාත්‍යවරයා නිසා උණුසුම් වු පාර්ලිමේන්තුව...
ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මුදල් අමාත්‍යවරයා මාස තුනකින් මේ සභාවට පැමිණ ජනතාවට උත්තරදී නැති හෙයින් ඔහු වහාම සභාවට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (10) ඉල්ලීමක් කළේය.
ඔහුගේ මෙම ඉල්ලීමත් සමග ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ සංවාදයක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය.
රට බංකොළොත්වී තිබෙන අවස්ථාවක මුදල් අමාත්‍යවරයා මේ සභාවට පැමිණ ජනතාව වෙනුවෙන් කරුණු දැක්විය යුතු වුවත් ඔහු එම අවස්ථාව මගහැර සිටින බවත් මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට අවසන් වරට පැමිණ ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වැනිදා බවත් කිරිඇල්ල මහතා මෙහිදී පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මුදල් අමාත්‍යවරයා මේ සභාවට නොපැමිණි බවට කරන ලද ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නැයි ඉල්ලීමක් කරන බවයි.
මුදල් අමාත්‍යවරයාට යොමු කරන ලද ප්‍රශ්න සියල්ලටම ඔහුගේ උපදෙස් මත රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදී ඇති බවත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ සියලු ලේඛන සම්බන්ධයෙන් මේ ස්ථානයේ විවාද පවත්වා ඇති බවත් සභානායකවරයා කීවේය.
දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී මෙසේද කීවේය:-
"මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට විටින් විට පැමිණියා. ආවෙ නැහැ කියලා කියන්න බෑ.මුදල් ඇමැති රටට කරන ප්‍රකාශ මෙතන විවාදයටත් ලක් වුණා".
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
"පවතින අර්බුදය ගැන මුදල් අමාත්‍යවරයා මෙතැනට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. මෙයාලා අද යුද්ධයක් තියෙන රුසියාවෙනුත් ඩොලර් මිලියන තුන්සියයක් ඉල්ලලා.ඒක මොන ලැජ්ජ නැති වැඩක්ද".
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා:-
"යුද්ධයක් තියෙද්දි යුක්‍රේන ජනාධිපතිතුමාත් ඒ රටේ පාර්ලිමේන්තුව ඇමතුවා".
මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා:-
"මුදල් අමාත්‍යවරයා මේ සභාවට ආවා. ඔබතුමාට ඒක පෙනුණේ නැත්තේ නිදාගෙන හිටපු නිසයි".
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-
"ඇමැතිවරයකුට ප්‍රකාශයක් කරන්න කියලා කියන්න මට බැහැ. මට ඒක කරන්න බැහැ. නමුත් මන්ත්‍රීවරයෙක් මාස තුනක් මේ සභාවට නොපැමිණියහොත් ස්ථාවර නියෝග අනුව මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. "
යනුවෙන් පක්ෂ විපක්ෂවරු අදහස් පල කලේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |