ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කම

Cricket Sri Lanka Cricket Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 03, 2026 08:30 AM GMT
Report

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් ලෝකඩ පදක්කමක් එක් කරමින් බංග්ලාදේශය සමඟ පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 63කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය.

මෙම ජයග්‍රහණයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් සහ පන්දුවෙන් සුවිශේෂී දස්කම් දැක්වූ තරිඳු රත්නායක තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ජපානයේ නිෂින් හි පිහිටි කෝගි ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී ලෝකඩ පදක්කම සඳහා පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 166ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 109ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 21ක් තුළ බිඳ වැටුණද, නායක සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායක එක්ව ඉනිම යළි ගොඩනැගූහ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් සහන් ආරච්චිගේ සහ අශේන් බණ්ඩාර එක්ව ලකුණු 33ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමට පදනම දැමූහ.

අනතුරුව පිටියට පැමිණි තරිඳු රත්නායක සහ සහන් ආරච්චිගේ එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46කදී ලකුණු 93ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාව ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තරිඳු රත්නායක පන්දු 32කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 65ක් රැස් කළේය. නායක සහන් ආරච්චිගේ පන්දු 30කදී ලකුණු 33ක් රැස් කරමින් ඊට අනගි සහායක් ලබා දුන්නේය.

පන්දුව හොඳින් දඟ කැවුණු සහ පන්දුවේ පැමිණීම පිළිබඳ නිශ්චිතව තීරණය කිරීමට අපහසු වූ තණතිල්ලකදී මෙම පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාව ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා යාමට වැදගත් විය. එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතා ද ශ්‍රී ලංකාවට ලකුණු රැස් කිරීමට අවස්ථා කිහිපයක් ලබා දුන්නේය.

ලකුණු 167ක ඉලක්කයක් හඹා යමින් බංග්ලාදේශය ආරම්භ කළ ඉනිමේ පළමු පන්දුවාරයේදීම සයිෆ් හසන් ලකුණු නොලබා දවා ගැනීමට නුවන් තුෂාර සමත් විය. දෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ තරිඳු රත්නායක ද කඩුලු දවා ගැනීම ආරම්භ කළ අතර, බංග්ලාදේශ පිතිකරුවන්ගේ පළමු තිදෙනාම ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව ලකුණු 4කට කඩුලු 3ක් ලෙස බංග්ලාදේශ ඉනිම අසීරු තත්ත්වයකට පත්විය. එතැන් සිට යළි තරගයට අවතීර්ණ වීමට බංග්ලාදේශයට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කිසිදු අවස්ථාවක් හිමි නොවීය. නුවන් තුෂාර සිය පන්දුවාර 4 ලකුණු 18කට සීමා කරමින් කඩුලු 2ක් දවාගත් අතර, තරිඳු රත්නායක ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තේය. විජයකාන්ත් වියස්කාන්ත් සහ වනුජ සහන් ද කඩුලු 2 බැගින් දවා ගත්හ.

එහිදී වනුජ සහන් සිය පන්දුවාර 4 ලකුණු 17කට සීමා කිරීම කැපී පෙනුණි. ඉන්දියාව සමඟ පැවැති අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දු වෙනුවට මෙම තරගය සඳහා දුෂාන් හේමන්ත සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවා තිබිණි. මේ අතර, රන් පදක්කම සඳහා පැවැත්වෙන ඉන්දු-පකිස්තාන අවසන් මහා තරගය නැරඹීම සඳහා දෙරටේ ප්‍රේක්ෂකයන් කල් ඇතිවම කෝගි ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර, එහිදී ඉන්දීය සහ පකිස්තාන ප්‍රේක්ෂකයන් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පතමින් සහාය පළ කිරීම ද කැපී පෙනුණි. එමෙන්ම, අද පස්වරුවේ පැවැත්වෙන ඉන්දු-පකිස්තාන අවසන් මහා තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන්ව තිබූ බව ද වාර්තා විය.