නවසීලන්තයට පහසු ජයක් - අද තරගයට සිදුවු දේ

By Sewvandhi Oct 29, 2022 11:29 AM GMT
Report

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 65ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. සිඩ්නි හිදීයි මෙම තරගය පැවැත්වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 167ක් ලබාගත්තා. Glenn Phillips ලකුණු 104ක් රැස්කළා. ඒ පන්දු 63කින්.

ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුලත් වුණා. ඔහු දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දසුන් ශානක අතට උඩ පන්දුවක් ලබාදෙමින්. අනතරුව පිටියට පිවිසි Ish Sodhi එක් ලකුණක් ලබා දැවී ගියා.

මහීෂ් තීක්ෂණ පළමු පන්දුවාරය ආරම්භ කළ අතර හතරවන පන්දුවෙන් Finn Allen දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීයි. ධනංජය ද සිල්වා දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කරද්දී දෙවන පන්දුවෙන් Devon Conway දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටියදී.

ලකුණු 8ක් ලබා සිටි නවසීලන්ත නායක කේන් විලියම්සන් දවා ගැනීමට කසුන් රාජිත සමත්වුණා. ඔහු දැවීගියේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබාදෙමින්. ඒ තුන්වන පන්දුවාරයේ අවසන් පන්දුවේදි. ලකුණු 22ක් ලබා සිටි Daryl Mitchell පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංග සමත්වුණා. කසුන් රාජිත කඩුලු 2යි.

මේ අනුව තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 168ක්. පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක්ම පන්දුවාර 4ක් ඇතුලත ලකුණු 8ක් පමණක් ලබා සිටියදී දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. 

 පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක සහ වනිඳු හසරංග ලකුණු 4 බැගින් ලබා ගත්තා.

පන්දු 22කින් වේගවත් ලකුණු 34ක් ලබාගත් භානුක රාජපක්ෂ කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. ඔහු ලකුණු 34 රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ද සමගින්. චාමික කරුණාරත්න ලකුණු 3යි. නායක දසුන් ශානක ලකුණු 35ක් ලබාගත්තා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now