ආසියානු කුසලානය ඉන්දියාවට - පහසු ජයක්..!
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අවසාන මහා තරගය ජයග්‍රහණය කරමින්, ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්. පළමුව කාසියේ වාසිය දිනාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු තීරණය කළේ, පන්දුවට පහරදීමටයි.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක පිතිකරණයක නියලෙන්නට ඉන්දීය පන්දු බලඇණිය ඉඩහසර වෙන් කර දුන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නොසැලකිලිමත්කම සහ අනවශ්‍ය ලෙසින් පන්දුවට පහර දීමට යාමෙන් ඉතා ඉක්මනින් යළි ක්‍රීඩාගාරය වෙත හැරී යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ තුන් ඉරියව් ක්‍රීඩිකා ඉනෝකා රණවීර පමණයි.
ඒ ලකුණු 18ක්. සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 09කට ලකුණු 65ක් පමණයි. ඒ අනුව ලකුණු 66ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසියේ ඉන්දීය කණ්ඩායමේ ස්මිත්‍රි මන්දනා සමගින් ෂෆාලි වර්මායි.
ඔවුන් දෙදෙනා එක්ව සාර්ථක ලකුණු සංඛ්‍යාවක් ගොඩනගද්දී වර්මා දැවී ගියේ කවීෂා දිල්හාරිගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ලක් වීමෙන්. කිසිදු කලබලයකින් තොරව පැහැදිලි පහරවල් එල්ල කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් ස්මිත්‍රි මන්දනා ලකුණු 51ක් ලබාගත්තේ සිය අර්ධ ශතකය ද සම්පූර්ණ කරගනිමින්. ඇයගේ ලකුණු පුවරුවට හයේ පහරවල් 03 ක් සහ හතරේ පහරවල් 06ක් ඇතුළත් වුණා.
ඊට අනගි සහායක් ලබාදෙමින් නායිකා හර්මන්ප්‍රීට් කවුර් ලබාගත් ලකුණු සංඛ්‍යාව 11ක්. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය දෝතට ගත්තේ පන්දුවාර 08 පන්දු 03ක් අවසානයේ දී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 65 සීමාව පසුකර යමින්.
ඉන්දීය කණ්ඩායම මෙවර ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග ඔවුන් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ආසියානු කුසලාන සංඛ්‍යාවක් දිනූ රට බවට ද පත්වනවා. ඒ ආසියානු කුසලාන 07ක් ජයග්‍රහණය කරමින්. තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තේ ලකුණු 05කට කඩුලු 03ක් දවාගත් රේණුකා සින්ග් විසින්. එමෙන්ම තරගාවලියේ වීරයා සම්මානය දීප්ති ශර්මා හිමිකරගත්තා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |