ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට එන්න පුළුවන්..වැඩේ වෙන්නෙ මෙහෙමයි..

Sri Lanka Cricket Sri Lanka T20 World Cup 2022
By Aruna Oct 31, 2022 12:33 AM GMT
Report

නවසීලන්තය හමුවේ පරාජයට පත් වුවද ඉතිරි තරග දෙක වඩාත් යහපත් මට්ටමේ දල ලකුණු වේගයකින් ජය‍ගෙන අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානක පවසයි.

ඔහු එසේ පැවැසූවේ නවසීලන්ත තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය. “ඉදිරි තරග දෙකේදී, විශේෂයෙන්ම හොඳ ලකුණු වේගයක් සමඟින් ඒ තරග දෙකෙන් අපි ජයගත යුතුයි.

එහෙම ඉදිරියට යන්න පුළුවන් නම්, මම හිතන්නේ අපිට අවසන් පූර්ව වටයට එන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියලා.

මොකද අපි ගොඩක් දුෂ්කර කාලවලට මුහුණ දීලා තියෙනවා.

ඒ නිසා අපට තවමත් දැන් සිටින ස්ථානයෙන් ඉදිරියට යා හැකි බව මගේ විශ්වාසයයි“ දසුන් ශානක පැවැසීය.

ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතා තීරණාත්මක සාධකයක් වූ බව දසුන් ශානක මාධ්‍ය හමුවේදී පිළිගත්තේය.

ග්ලෙන් පිලිප්ස් දෙවරක්ම දවා ගැනීමේ අවස්ථා ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී ගිය අතර අනතුරුව ඔහු ලකුණු 104ක් දක්වා ඉදිරියට ගියේය.

“ අපි ඇත්තටම නවසීලන්තයට එරෙහි තරගය හොදින් පටන් ගත්තා.

අතහැර දැමූ උඩපන්දු නිසා තරගයේ අපට තිබූ වාසිය වෙනස් වුණා.

මේ තත්ත්වය මත ග්ලේන් පිලිප්ස් ශතකයක් ලබා ගත්තා. ඒක තමයි මේ තරගයේ හැරවුම් ලක්ෂය වුණේ.

නවසීලන්තය ලකුණු 130ක්, 140ක්, වගේ තියාගන්න තිබුණා. ග්ලේන්ගේ ප්‍රහාර හමුවේ එය වැලකුණා.

ග්ලේන් පිලිප්සට හැර කිසිවකුට විශාල ලකුණු ලබා ගැනීමට නොහැකි වුණා. පිලිප්ස්ගේ ගේ ඉනිම ගොඩක් හොද එකක් කියන්නේ ඒකයි“ “ පැතුම් හොද පන්දු රකින්නෙක්.

ඔහු මෙයට කලින් මේ වගේ උඩ පන්දු අත්හැර නෑ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී උඩපන්දු අතහරින්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා කිසිවෙකුටත් දොෂාරෝපණය කරන්න බෑ.

අප කළ යුත්තේ මීළඟ තරගයේදී නැවත කණ්ඩායමක් ලෙස තියුණු විදිහට ප්‍රතිවාදීන්ට එරෙහිව තරග කිරීමයි“ දසුන් ශානකගේ අදහස විය.

“හැකියාව හා මානසිකත්වය පිළිබද ප්‍රශ්නයක් නෑ. එදා දවසේ ක්‍රීඩා කරන විදිහ අනුව තත්ත්වය වෙනස් වෙනවා.

චාමික හා භානුක හොදින් ලකුණු ගොඩ නැගුවා. චාමික අවාසනාවන්ත ලෙස දැවීගියා. මාත් භානුකත් එකතුවෙලා ඕවර් 15ක් විතර ගහන්න සැලසුම් කළේ.

ඒත් භානුක දැවී ගියා. ඒක අපට විශාල පාඩුවක් වුණා“ දසුන් ශානක සදහන් කළේය.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් ආබාධ රැසකට මුහුණදුන් අතර එම ක්‍රීඩකයන් කිහිපදෙනකු තරගාවලියෙන් ඉවත්වීම ද විශාල අභීයෝගයක් විය.

මේ තත්ත්වය හේතුවෙන් කොළඹින් ආදේශකයින් ගෙන ඒම සහ එයින් ඇතිවූ දුෂ්කරතාව පිළිබද නායකයා ලෙස දසුන් ශානකගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළේය.

“ ආබාධ ඇතිවීම හා ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඈත්වීම පාලනය කළ නොහැකියි, ඒ ක්‍රීඩකයන් ඉක්මණින් යෝග්‍යතාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන්න බෑ.

ඇතැම් තරගාවලිවලදී වැඩි වැඩියෙන් ක්‍රීඩකයින් ආබාධවලට ලක්වන අවස්ථා උදා වෙනවා.ඒත් අපි පරීක්ෂා කර බැලිය යුතුයි ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීමට හේතුව කුමක්දැයි කියලා.

ක්‍රීඩකයන් පිටියේ සිටිද්දී මට ඔවුන්ගෙන් උපරිමය ගන්න පුළුවන්. ඔවුන් පිටියේ නොමැතිවීම කනස්සල්ලට කරුණක් තමයි“ දසුන් ශානක සදහන් කළේය.

“ සිඩ්නි තණතිල්ල මෙතරම් මන්දගාමී වේ යැයි අපි කවදාවත් හිතුවේ නැහැ. මීට වඩා හොඳ තණතිල්ලක් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණා.

අපි නවසීලන්තය සමග තරගය හොදින් කළේ නෑ. ඒක පිළීගත යුතුයි. දෝලනය වන පන්දුව සමග ක්‍රීඩා කිරීම අසාර්ථක වුණා.

ඒ නිසා අපි ඊළඟ තරගය හොඳින් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරනකොට ප්‍රශ්නයක් වෙන්න බෑ. නමුත් එය සිදු වුණා. ඔබ දන්නවා.

මෙය එක් තරගයක් පමණයි. නමුත් ඉන් පසුව අපි තරඟාවලියේ හොඳින් ක්‍රීඩා කළ යුතු බව දන්නවා“ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now