දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 අවසන් තරඟ 02ට කැඳවයි..වනිඳුත් සටනට එයි?..

Indian Sri Lanka Cricket Niroshan dikwella Wanidu hasaranga Dananjaya de Silva
By Aruna Feb 25, 2022 08:05 AM GMT
Report

ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයයට එක්වීමේ අරමුණින් ක්‍රීඩකයින් 08 දෙනෙකු ඉන්දියාව බලා පිටව ගොස් තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය මෙලෙස ඉන්දියාව බලා පිටව ගොස් ඇති ක්‍රීඩකයින් වනවා.

මේ අතර මෙම ක්‍රීඩකයින් 08 දෙනා අතර සිටින නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා ඉදිරි විස්සයි විස්ස තරග දෙක සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව ලබන 27 වනදා අවසන් වීම හේතුවෙන් ඒ සඳහා ඉන්දියාවෙන් අවසර හිමිව නොමැති බවයි වාර්තා වන්නේ.

නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා මෙරට තුළදීත් ජෛව ආරක්ෂිත බුබුළක රැඳී සිටීමෙන් අනතුරුවයි ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරි විස්සයි විස්ස තරග දෙක සඳහා එක්කර ගැනීමට ඉන්දීය බලධාරීන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා සිදුකරමින් පවතින බවයි තේරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ අතර දෙරට අතර දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරග හෙට (26) සහ අනිද්දා (27) යන දිනයන් වලදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

කෙසේවෙතත් තුන්ඉරියව් ප්‍රබල ක්‍රීඩක වනිඳු හසරංග සංචිතයට කැඳවීමට තවමත් නොහැකි තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now