කමිඳුගේ විශිෂ්ට ශතකයෙන් ශ්රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක්
2026 පාකිස්තාන එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 325ක් රැස් කිරීමට සමත් විය.
ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්වෙන දිවා රාත්රී තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට අවිශ්ක ප්රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් සමත් වූහ. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් ගොඩනැගූහ.
අවිශ්ක ප්රනාන්දු පන්දු 49කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 38ක් රැස් කළ අතර, ඔහු පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
අනතුරුව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ අතර ඔහු ලකුණු 8කට දැවී ගියේය.
කෙසේ වෙතත්, අනෙක් අන්තයේ ස්ථාවරව පන්දුවට පහරදුන් කමිඳු මෙන්ඩිස් විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ලකුණු 131ක් රැස් කළේය. ඔහු පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය.
කමිඳුට අනගි සහායක් ලබාදුන් පවන් රත්නායක පන්දු 65කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 77ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146ක සබඳතාවක් ගොඩනැගීම ශ්රී ලංකා ඉනිමේ කැපී පෙනෙන අවස්ථාවක් විය.
කමිඳු මෙන්ඩිස් දැවී යන විට ශ්රී ලංකා ලකුණු පුවරුව 255ක් ලෙස සටහන් වූ අතර, ඒ වන විට ශ්රී ලංකාව කඩුලු 3ක් පමණක් අහිමි කරගෙන තිබිණි.
අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක වේගවත් පිතිකරණයක නිරත වෙමින් පන්දු 9කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 17ක් රැස් කළේය.
ජනිත් ලියනගේ ලකුණු 6කට දැවී ගිය අතර සහන් ආරච්චිගේ පන්දු 12කදී හතරේ පහර 2ක් සමඟ ලකුණු 15ක් ලබාගත්තේය. දුනිත් වෙල්ලාලගේට රැස්කරගත හැකි වූයේ ලකුණු 3ක් පමණි.
අවසානයේ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 9ක් සහ අසිත ප්රනාන්දු නොදැවී ලකුණු 6ක් ලබා සිටියහ.