ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න පහළ යයි

Sri Lanka Sri Lanka Fisherman Latest Headlines Sinhala news SriLanka News - Gagana
By R.rishma Aug 22, 2026 08:29 AM GMT
Report

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA) පවසයි. එහි සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන අතර ලොව බොහෝ රටවල සාගර පද්ධති මුහුණ දෙන පොදු අවදානමක් බවයි.

මෙය හදිසියේ ඇති වූ තත්ත්වයක් නොවන බවත්, 2014 වසරේ සිට ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය අස්වැන්නේ පහළ යෑමක් නිරීක්ෂණය වී ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මත්ස්‍ය අස්වැන්න අඩුවීමට එක් නිශ්චිත හේතුවක් පමණක් බලපා නොමැති අතර, සාගර ජෛව පද්ධතියේ සිදුවන විවිධ වෙනස්කම් ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බව ඔහු සඳහන් කළේය. 

කෙසේ වෙතත්, එල් නිනෝ (El Niño) තත්ත්වය මත්ස්‍ය අස්වැන්න අඩුවීමට බලපා තිබේද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවත්, එමඟින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල වී ඇති බවටද තහවුරු කළ සාක්ෂි නොමැති බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය දීර්ඝ කාලීනව පැවතියහොත් ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් විකල්ප රැකියා අවස්ථා වෙත යොමු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති නමුත්, එහි වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා චෝදනා කළේ, ධීවර කටයුතුවලදී තහනම් දැල් සහ විනාශකාරී ධීවර ආම්පන්න භාවිතයට එරෙහිව පනවා ඇති නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මත්ස්‍ය සම්පත ක්ෂය වීමට බලපාන ප්‍රධාන හේතුවක් බවයි.