විශේෂ පුද්ගලයෙක් ගැන පොහොට්ටුවෙන් ජනපතිට පැමිණිල්ලක්

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Podujana Peramuna
By Sewvandhi Oct 08, 2022 12:33 PM GMT
Report

ප්‍රචණ්ඩකාරීන් විසින් ඉකුත් මැයි මස 9 වෙනිදා මැති ඇමැතිවරුන්ගේ නිවාස ඇතුළු වටිනා දේපළ විනාශ කරනු ලැබීමේ සිද්ධියේදී නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකළේ යැයි චෝදනා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් වහාම ආරම්භ කිරීමට උපදෙස් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තුන්වෙනි වතාවටත් පසුගිය සතියේදී ඉල්ලීමක් කර ඇත.

මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සතියේ පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රමාදවීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇතැයිද දැනගන්නට ඇත.

ප්‍රචණ්ඩකාරී මැති ඇමැතිවරුන්ගේ නිවාස වලට පහර දීම ආරම්භ වූ අවස්ථාවේ දී පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් ඒ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට පැහැදිලිවම හැකියාව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ අනුව පොලිස් ප්‍රධානීන් එදින නියෝග දීමේදී බරපතළ ප්‍රමාදයක් සිදු වූ බව එම මන්ත්‍රීවරුන්ගේ අදහසවී ඇත. ප්‍රචණ්ඩකාරීන් විසින් කරන ලද පහරදීම් හේතුවෙන් මැති ඇමැතිවරුන් අසූවකට ආසන්න පිරිසකගේ නිවාස ඇතුලු දේපළ විනාශයට පත්විය.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now