ආපදාවකට පෙරම ජංගම දුරකථනයෙන් අනතුරු ඇඟවීමක්
හදිසි අවස්ථා සහ ආපදා අවස්ථාවලදී මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රව්‍ය (audio) අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි.
ස්වභාවික ආපදාවක් හෝ අනතුරක් සිදුවීමට පෙර ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවිඩ (SMS) සහ ශ්‍රව්‍ය අනතුරු ඇඟවීම් යැවීමට මෙම නව හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක වනු ඇත.
ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක දැනටමත් සාර්ථකව භාවිත කෙරෙන ක්‍රමවේදයක් පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි මෙම පද්ධතිය සකස් කිරීම පිළිබඳව සොයා බලමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මෙහිදී, ආපදාවකට ලක්වීමේ අවදානමක් ඇති හෝ දැනටමත් ආපදාවට ලක්ව ඇති ප්‍රදේශයක පිහිටි ජංගම දුරකථන සේවා කුළුණු (towers) හරහා, එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සියලුම ජංගම දුරකථන වෙත මෙම අනතුරු ඇඟවීම් ස්වයංක්‍රීයව යැවීමට පද්ධතිය සකස් කෙරේ. මෙම පණිවිඩය සමඟ ජංගම දුරකථනවලින් ඉහළ සංඛ්‍යාතයකින් යුත් ශබ්ද තරංගයක් නිකුත් කෙරෙනු ඇත.
එමගින් නින්දේ පසුවන ජංගම දුරකථන භාවිතා කරන්නන් පවා අවදි කර ඔවුන්ව දැනුවත් කිරීමට හැකියාව ලැබේ. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සහ ඒ සම්බන්ධයෙන් මතු විය හැකි ගැටලු විසඳීමට විදේශීය රටවල් රැසක් මෙරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහාය ලබා දෙයි.
මේ වන විටත් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. තවද, මාස දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ මෙහි අවසන් කටයුතු නිම කිරීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, පසුගිය දශකය පුරා නිසි නඩත්තුවක් නොමැතිව අතහැර දමා තිබූ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු ප්‍රතිසංස්කරණය කිරීමට ද පියවර ගනිමින් පවතී.
පසුගිය වසරේ රටට බලපෑ දිට්වා කුණාටු තත්ත්වය අතරතුර සිදු වූ ආපදා කළමනාකරණ සහ මුදාගැනීමේ මෙහෙයුම් පිළිබඳව සමාලෝචනය කිරීමෙන් අනතුරුව රජය විසින් මෙම ව්‍යාපෘතිය වේගවත් කරනු ලැබීය.