කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.(LIVE)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Aruna Sep 06, 2022 03:59 AM GMT
Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

අදාළ තීන්දුව මේ වන විටත් තමා වෙත ලැබී ඇති බවයි අප කළ විමසීමකට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කළේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් විසින් අධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණා.

එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර ඉදිරිපත් කරනු ලැබු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ විනිසුරු මඩුල්ල එහි තීන්දුව කථානායකවරයා වෙත ඉදිරිපත් කරන බව අගෝස්තු 23 වන දින නිවේදනය කළේය.

ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීමට නියමිතයි.

අද දිනයේ දී මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර එම විවාදය හෙට (07)දිනයේ ද පැවැත්වීමට නියමිතව ඇත.

මේ වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය ලබන බදාදා දිනයේ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඇති බව ද වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now