ලංකාවේ දෙසැම්බර් 06 සිට කරන්න තිබූ විශේෂම දෙයක් නතර කරයි..

Sri Lanka Cricket Sri Lanka
By Aruna Nov 11, 2022 01:24 AM GMT
Report

ලබන දෙසැම්බර් 06 වැනිදා පැවැත්වීමට යෙදී තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ ඉදිරියේදී පැවැත්වීමට යෝජිත ‘ටී 10’ ක්‍රිකට් තරගාවලිය අවලංගු කරන ලෙස ඉල්ලා ජාතික ක්‍රීඩා සභාව විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යෝජනාවක් ඉදිරිපත්කර තිබෙන බවට වාර්තා වනවා.

ජාතික ක්‍රීඩා සභාව විසින් අදාළ යෝජනාවන් ඊයේ (10 ) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත්කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත්කරන ලෙසටද එහිදී ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එම යෝජනාවන් සම්බන්ධයෙන් ක්‍රීඩා සභාවේ වගකිව යුතු නිලධාරීන් සමග අද (11 ) පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළැඹෙන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන් ප්‍රධාන පුවත්පතක් කළ විමසීමකදී ඔහු මේසේ සඳහන් කර තිබේ.

‘‘ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියත්, ටී 10 තරගාවලියත් අවලංගු කරන මෙන් ඉල්ලා ජාතික ක්‍රීඩා සභාවෙන් යෝජනා ඇවිත් තිබෙනවා.

උද්ගත වෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා කවුන්සිලයත්, තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කරලා අවසන් තීරණයකට එන්න බලාපොරොත්තු වෙනවා’’යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි අවලංගු කිරීමටවත්, ක්‍රිකට් සම්බන්ධයෙන් අතුරු කමිටුවක් පත් කිරීමටවත් හේතුවක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට්හි විධායක නිලධාරීයෙක් එම පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

‘ලංකා ප්‍රිමියර් ලීගය පවත්වන්න දැන් සියලු කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. දැන් ඒක කඩාකප්පල් කරන්න හදනවානම් ඒකෙන් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 2ක පාඩුවක් වෙනවා.

ඒ විතරක් නොවෙයි තරගාවලිය වෙනුවෙන් ලංකාවට පැමිණීමේ අදහසින් සිටින විදේශිකයන් ලංකාවට එන්නේ නැති වෙයි.

ධනුෂ්ක ගුණතිලකට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි දේවල් කරන්න හදනවා නම්, ඒ සිද්ධියෙයි, තරගාවලි අවලංගු කිරීමෙයි ඇති සම්බන්ධය කුමක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 40ක සංචිතයක් තියෙනවා.

යම් අයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අතුරු කමිටුවක් දාන්න හදන්නේ ඒකේ තියෙන සල්ලි කොල්ලකන්න.

අපි ඒ බව අයි.සී.සී.යටත් දැනුවත් කරලා තියෙන්නේ.

යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අතුරු කමිටුවක් දැම්මොත් අනිවාර්යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්ජාතික වශයෙන් තහනමකට ලක් වෙනවා’’ යි හෙතෙම අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගව කිහිපවතාවක්ම දුරකථයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහා ගත්තද, එම උත්සාහයන් ව්‍යර්ථ විය.

කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද දැනුවත් බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now