වාහන ආනයනයේ දැවැන්ත ඉහළ යාමක් - වටිනාකම ඩොලර් බිලියන 3.8ක්

Economy of Sri Lanka vehicle imports sri lanka Latest Headlines Import Sinhala news
By R.rishma Oct 07, 2026 05:59 AM GMT
Report

2024 වසරේදී වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව, මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 3.8කට ආසන්න වටිනාකමකින් යුත් වාහන 800,000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

2024 සහ 2025 වසර දෙක තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක පමණ වටිනාකමකින් යුත් ණයවර ලිපි (LCs) විවෘත කර ඇති අතර, 2026 වසරේදී මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 1.69ක වටිනාකමකින් යුත් LCs විවෘත කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඔහුට අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන අතර,

මෝටර් රථ 79,000කට අධික සංඛ්‍යාවක්, වාණිජ වාහන 12,000ක්, බස් රථ සහ වෑන් රථ 3,148ක්, යතුරුපැදි 317,000ක්, ත්‍රිරෝද රථ 40,000ක්  ඇතුළත් වේ.

එමෙන්ම 2025 වසරේදී මෝටර් රථ 90,000කට අධික සංඛ්‍යාවක්, වාණිජ වාහන 11,000ක්, බස් රථ සහ වෑන් රථ 2,185ක්, යතුරුපැදි 225,000ක් සහ ත්‍රිරෝද රථ 22,000ක් මෙරටට ආනයනය කර ඇති බවද ඔහු පැවසීය.

වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් රටේ විදේශ සංචිත පහත වැටී ඇති බවට විපක්ෂය කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන ආනයනය සඳහා සිදුකළ වියදම් තිබියදීත් රජය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක පමණ විදේශ සංචිතයක් පවත්වාගෙන යන බවයි.

එමෙන්ම, මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බවද නිශාන්ත ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.