නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පිරිසකට තනතුරු අහිමි වෙන ලකුණු..
වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුවනු ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර දරන අතර පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, පක්ෂයේ උප ලේකම්වරුන් වන ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ද වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරවල පසුගියදා දිවුරුම් දුන්නෙ ය.
ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මීට පෙර එලෙස ප්‍රකාශ කළ ද නීතිය ක්‍රියාත්මක නොවූ අතර ඉදිරියේදී නිතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
පක්ෂයේ මතයට එරෙහිව ගොස් ආණ්ඩුවට සහය දැක්වූ සාමාජිකයන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අදහස් කරමින් සිටියද පක්ෂයෙන් ඔවුන් ඉවත් නොකරන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩි දුරටත් පැවසීය.