ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ ඉරණම මෙන්න..අවසන් සටනට යෑමේ අවිනිශ්චිත තත්ත්වයක්..

Sri Lanka Cricket Sri Lanka T20 World Cup 2022 Australia Cricket Team
By Aruna Oct 31, 2022 06:21 AM GMT
Report

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් තරග දෙකම ජයගැනීම අනිවාර්යයි දැන් ක්‍රියාත්මක පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තීරණාත්මක සාධකයක් බවට වර්ෂාව පත්වෙමින් පවතින අතර යම් ලෙසකින් ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් සහභාගීවන ඉදිරි කුමන හෝ තරගයක් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුවහොත් අදාළ කණඩායමට අවසන් පූර්ව තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවන තත්ත්වයක් උදාවී තිබෙනවා.

නවසීලන්තය සමග පෙරේදා (29වැනිදා) සිඩ්නි හී පැවැති තරගයෙන්ද පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පූර්ව තරග අවස්ථාව සඳහා වන සම්භාවිතාව අවම අගයකට පත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඔවුනට සුපිරි 12 වටය යටතේ ඉතිරිව ඇති තරග දෙකම ජයගැනීම අනිවාර්ය වන අතරවාරයේ ඔස්ට්‍රේලියාවට ඔවුනට ඉතිරිව ඇති තරග දෙකෙන් එකක් හෝ පරදින තුරු බලාසිටීමට සිදුවනු ඇත.

නමුත් ඔස්ට්‍රේලියාවට ඉතිරිව ඇත්තේ ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය සමග තරග බැවින් ප්‍රබල ඔස්ට්‍රේලියාව එම කණ්ඩායම් හමුවේ පැරදීමට ඇති සම්භාවිතාව අවම වේ.

එසේම අවසන් පූර්ව තරග අවස්ථාව ගැන සිතීමට නම්, පළමුව ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 6ක් ලබාගැනීමට (‍මේ වන විට ලකුණු 2ක් පමණක් ලබා සිටින) ලංකාවට සිදුවන බැවින් ශ්‍රී ලංකාව සහභාගීවන තරග ඉදිරි තරග දෙකෙන් එකක් හෝ වර්ෂාව හේතුවෙන් අතහැරදැමීමට සිදුවුවහොත් එමගින් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව තරග අවස්ථාව සහමුලින්ම අහිමි කර දමනු ඇත.

එංගලන්තය ඇෆ්ගනිස්තාන‍ය පත්ව ඇති තත්ත්වයද එසේමය.

ඒ කෙසේ වෙතත් තවමත් තමන් අවසන් පූර්ව තරග අවස්ථාව ගැන බලාපොරොත්තුවෙන් පසුවන්නේ යැයි පෙරේදා ශ්‍රී ලංකාව ලකුණු 65ක පරාජයක් අත්විඳි නවසීලන්තය සමග පැවැති තරගයෙන් අනතරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසීය.

එහීදී ශතකයක් ලබාගත් ග්ලෙන් ෆිලිප්ස් විසින් ලකුණු 12ක් ලබාසිටියදී ලබාදුන් පහසු උඩපන්දුව පැතුම් නිශ්ශංක අතින් ගිලිහී යෑම, ලෝක කුසලාන අවසන් පූර්ව තරග අවස්ථාව ගිලිහී යෑමක් ලෙසින් බොහෝ දෙනෙක් විසින් හැඳින්වුවත්, එය ඕනෑම ක්‍රීඩකයෙක් අතින් ඕනෑම මොහොතකදී සිදුවිය හැකි තත්ත්වයක් ලෙස දසුන් විසින් විසින් පවසන ලදි.

එම උඩපන්දුව අතහැරීමත් සමගින් සමස්ත කණඩායමේ ජයග්‍රාහී මනසිකත්වය ගිලිහී ගිය අයුරක් දැකගතහැකි වූ අතර එම උඩපන්දුව ගිලිහි යෑම විසින් කණ්ඩායමට දැඩි මානසික බලපෑමක් ‍කළේදැයි දසුන් ශානකගෙන් එහිදී විමසනු ලදුව ‘පැතුම් කියන්නේ දක්ෂ පන්දු රකින්නෙක්.

මම හිතන්නේ නෑ මීට කලින් ඔහු උඩපන්දුවක් අතහැරලා තියෙනවාය කියලා.

ඉකුත් තරගයේදී වනිදුට මුහුණදීමට සිදුවූ දේත් එක්ක මෙම තරගයේදී මේ ලැබුණු උඩපන්දුව ගිලිහීයෑම වනිදුට මානසික බලපෑමක් වුනත්, මම හිතන්නෙ නෑ කණ්ඩායමේ අනිත් අයට එය මානසිකව ඒ තරම් දරුණු බලපෑමක් වුනාය’ කියලා යනුවෙන් පිළිතුරු දුන්නේය.

එසේම පවර්ප්ලේ අවස්ථාව අවසන්වන විටත් කඩුලු 3ක් දැවී ලකුණු …25ක් ලබා සිටි නවසීලන්තයට එවැනි ඉනිමක් ගොඩනැගීමට හැකිවුනේ නම්, ශ්‍රී ලංකා පිලේ කඩුලු දෙක තුනක් දැවීගිය සැනින් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී යෑම කණ්ඩායමේ හැකියාවේ ප්‍රශ්නයක් නැතහොත් සටන්කාමී මානසිකත්වය පිළිබඳ ගැටළුවක් දැයි මෙහිදී   තවදුරටත් නැගූ පැනයට පිළිතුරු දෙමින් ‘මම හිතන්නේ එය හැකියාවෙවත්, මානසිකත්වයේවත් ප්‍රශ්නයක් නෙමෙයි, මේක එදා දවසේ තරගයේදී සිදුවිය හැකි ස්වභාවයක්.

මේ වගේ තත්ත්වයන් වල අපි ඇති තරම් ක්‍රීඩා කරලා තියෙනවා. කඩුලු 4ක් දැවී ගොස් තිබියදීත් චාමික සහ භානුක එකතු වූ විට අපට ලකුණු ලැබුණා.

චාමිකගේ උඩ පන්දුව හතර සීමාවේදී රැකගැනීම වගේම භානුකගේ දැවීයෑමත් අපිට ලොකු බලපෑමක් කළා’ යැයි පැවසීය.

එම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (01 වැනිදා) දිනයට‍ යෙදී ඇති ඇෆ්ගනිස්තානය සමග තරගය වෙනුවෙන් ඊයේ එරට වේලාවෙන් පස්වරු 3 පමණ වන විට බ්‍රිස්බේන් වෙත ළඟාවිය.

ඒ අනුව ඊයේ දිනයේ පුහුණුව සඳහා අවස්ථාවක් නොවූ බැවින් අද දිවාකාලයේ පැය 3ක පුහුණුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට යෙදී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now