මෙවර ලෝක කුසලාන ඉදිරි තරඟ වලදී ශ්‍රී ලංකාවට සිදු වන දේ ගැන විශේෂ අනාවරණයක්..

Sri Lanka Cricket Indian Cricket Team New Zealand Cricket Team Bangladesh Cricket Team ICC World Cup 2023
By Aruna Oct 29, 2023 07:52 AM GMT
Report

එක්දින ලෝක කුසලානය පිළිබඳව මුළු රටේම ඇත්තේ මහත් උනන්දුවකි.

මෙම උද්‍යෝගය දෙගුණ තෙගුණ වූයේ පසුගියදා හිටපු ලෝක ශූරයින් පරාජය කොට ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනයන් බොඳවෙන තැනට කටයුතු කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමත් සමගය.

මේ වන විට තරග 5ක් අවසානයේ තරග 2ක් පමණක් ජයගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන බලාපොරොත්තු තබා ගැනීමට හැකියාවක් තිබේද යන්න මේ සමග මෙරට ක්‍රිකට් ලෝලීන්ට ඇතිවී තිබෙන ප්‍රධානතම ගැටලුවයි.

මෙය එක්තරා ආකාරයකින් බැලූවිට ගණිත ගැටලුවක් බවට පත්ව ඇති අතර, ගණිතමය වශයෙන්, ඉදිරි තරග 4ම ජයගත හොත් අනිවාර්යයෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් හිමි කර ගැනීමේ ඉඩ තිබෙන අතර තවත් තරග 3ක් ජයගතහොත් අවසන් පූර්ව වටය පිළිබඳව සියුම් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතී.

ඉදිරි වටයට තෝරා ගන්නා ආකාරය..

කණ්ඩායම් 10ක් තරගවදින එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඒ සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී අනෙක් සෑම කණ්ඩායමක්ම සමගින් එක් තරගය බැගින් තරග 9ක් ක්‍රීඩා කරනු ලබයි.

එහිදී සෑම ජයග්‍රහණයක් සඳහාම ප්‍රසාද ලකුණු දෙකක් හිමි වන අතර යම් හෙයකින් තරගයක් තීරණයකින් තොරව නිම වූවහොත් එක් ලකුණ බැගින් කණ්ඩායම් දෙකටම හිමි වේ.

මූලික වටය අවසානයේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවකට හිමිකම් කියන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට තෝරා ගනු ලැබේ.

යම් හෙයකින් කණ්ඩායම් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක ප්‍රසාද ලකුණු සමාන වේ නම් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම තීරණය කරනු ඇති.

ශ්‍රී ලංකාවට සුදුසුකම් හිමි කරගැනීමට නම්..

ශ්‍රී ලංකාව මේ වන විට තරග දෙකක ජයග්‍රහණයන් සමගින් ප්‍රසාද ලකුණු 4ක් හිමි කරගෙන සිටියි.

ශ්‍රී ලංකාවට තවත් තරග 4ක් ඉදිරියේදී හිමි වන අතර ඒවායින් තරග 4ම ජයග්‍රහණයන් හිමි කරගතහොත් ප්‍රසාද ලකුණු 12ක් සමගින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් හිමි කරගනු ලබයි.

මේ තරග 4 යෙදී ඇත්තේ ඉන්දියාව, නවසීලන්තය, බංගලිදේශය සහ ඇෆ්ගනිස්තානය සමගයි.

ඒ අතරින් තරග 3ක් පමණක් ජයග්‍රහණය කළ ද ප්‍රසාද ලකුණු 10ක් සමගින් ඉදිරියට යෑමේ හැකියාවක් ශ්‍රී ලංකාව සතු වීම ද විශේෂත්වයකි.

ඇත්තටම ප්‍රායෝගිකව ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න අපිට පුළුවන්ද?

ගණිතමය වශයෙන් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවමත් සුරැකිව තිබුණත් යථාර්ථවාදීව බැලූ විට ඉන්දියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන සියලු ප්‍රතිවාදීන් පරාජය කිරීම කළ හැක්කක්ද?

මේ දක්වා ලෝක කුසලාන දත්ත අනුසාරයෙන් පිරික්සීමක් කළ විට පෙනී යන්නේ ජයග්‍රහණයන් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකිය යන්නයි.

කෙසේවෙතත්, මේ දක්වා ලෝක කුසලානයේදී ලබා දුන් වේග පන්දුවට සහ පිතිකරනයට උචිත තණතීරු සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රශස්ත ලෙස අනුගත වී තිබීම ඉදිරි ජයග්‍රහණයන් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට හේතු බව පෙන්වා දිය හැකිය.

යම් හෙයකින් දඟ පන්දුවට උචිත සාම්ප්‍රදායික ඉන්දියානු තණතීරු ඉදිරි දින කීපයේදී ලෝක කුසලානයට එක් වූවත් ශ්‍රී ලංකාව සතු දඟ පන්දු යැවීමේ බල ඇණිය දෙස බලන විට එය ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සුබ ආරංචියක් වීම ද විශේෂත්වයකි.

සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක යන තිදෙනාම මෙම ලෝක කුසලානේදී ලකුණු සාමාන්‍ය 40 ඉක්මවා පිතිකරණයේ නියැළීම සහ දිල්ශාන් මධුසංඛ කඩුලු අතර සිටීම මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනේ ඉදිරියට පැමිණි ප්‍රධානතම සාධකයන් වේ.

ඕනෑම ලකුණු සහිත තණතීරුවක ලකුණු වේගය අඩාළ කිරීමේ හැකියාවක් සහිත මහීෂ් නැවතත් කඩුලු දඩයම අතැර ලකුණු අඩාළ කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම ඉන්දියානු තණතීරු තුළ සාර්ථක වීමට ප්‍රධානතම හේතුවක් වීම ද විශේෂත්වයකි.

එමෙන්ම තමන්ගේ දිනයේදී දක්ෂතා අතරට පැමිණෙන කුසල් ජනිත්, කසුන් රාජිත සහ ලහිරු කුමාර වැනි තරග වෙනස් කරවන්නන් සිටීමද මෙම ජයග්‍රහණ බලාපොරොත්තු සඳහා වැදගත් වන අතර අත්දැකීම් බහුල ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නැවත පැමිණීම, ශ්‍රී ලංකා ප්‍රධානතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර සංචිතයට එක් වීමේ බලාපොරොත්තුවෙන් සිටීම ලෝක කුසලාන ඉදිරි තරගයන්හි පෙරළියක් කිරීමට ශ්‍රී ලංකාවට තවමත් ඉඩ ඇති බවය හේතු සාධක ලෙස පෙන්වා දිය හැකි වේ.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉදිරි තරග..

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ මීළඟ තරගය ලෙස ලබන සඳුදා (30 වැනිදා) ඇෆ්ගනිස්තානයට එරෙහිව පූනේ හිදී තරග වැදීමට නියමිතයි. තවමත් ඇෆ්ගනිස්තානය විසින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයකදී පරාජය කර නොතිබීම ශ්‍රී ලංකාවට ප්‍රබල වාසියක් වනු ඇති.

කෙසේවෙතත් මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර ජයග්‍රහණයන් ලබාගත් ඇෆ්ගනිස්තානය සුළුවෙන් ද තැකිය නොහැක. එසේ වුවද තරගය පැවැත්වෙන පූනේ ක්‍රීඩාංගණයේදී දඟ පන්දුව කවදත් නිෂ්ක්‍රීය වීම ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙනෙනු ඇති බවයි බොහෝ විචාරකයින් පවසන්නේ.

ඇෆ්ගනිස්තාන තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව නොවැම්බර් මස 02 වැනිදා වන්කඩේහිදී තරග වැදීමට නියමිතව තිබේ.

2011 ලෝක කුසලාන අවසන් තරගයේ අමිහිරි මතකයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක් සඳහා මෙම ක්‍රීඩාංගණයට එක් වන්නේ පළමු වතාවට වීම ද විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලානය යටතේ මේ ක්‍රීඩාංගණයේ පැවැති තරග දෙකෙහිම පළමු ඉණිමේදී ලකුණු 380 ඉක්මවා යෑම සහ කවදත් ලංකාවට එරෙහි තරගයකදී පිතිකරණයට වාසි දෙන තණතීරු සකසන ඉන්දියාව පැරදවීමට නම් ශ්‍රී ලංකා පිතිකරණය වැඩියෙන් ලකුණු අතරට පැමිණිය යුතුමය.

ඉන් අනතුරුව දිල්ලිහිදී පැවැත්වෙන බංග්ලාදේශ තරගය ජයග්‍රහණය අනිවාර්ය මෙන්ම ජයග්‍රහණය කළ හැකි තරගයක්ද වනු ඇත.

දිල්ලි ක්‍රීඩාංගණයත් පිතිකරණය වැඩි වාසි ගෙන දෙන හේතුවෙන් සහ බංග්ලාදේශයට සාපේක්ෂව ශ්‍රී ලංකා වේග පන්දු යැවීම සහ පිතිකරණය ශක්තිමත් වීම මත මෙම තරග ජය පිළිබඳවත් වැඩි බලාපොරොත්තු තැබීමට හැකි වීම විශේෂත්වයකි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ සෑම ප්‍රධාන තරගාවලියකදීම පාහේ බංග්ලාදේශය පරාජය කර තිබීමද මෙහිදී වැදගත් මානසික පිටුවහලකි.

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය නොවැම්බර් මස 09 වන දින නවසීලන්තය සමගින් බැංගලෝහිදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගයේ ජයග්‍රහණය අවසන් පූර්ව වටය සඳහා අනිවාර්ය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව නවසීලන්තය පැරදුවහොත් මීට පෙර එක් තරගයක් පරාජය වී තිබුණද අවසන් පූර්ව වටය සඳහා වැඩි ඉඩක් හිමි වනු නොවනුමානයි.

GalleryGallery