ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තීරණාත්මක තරගය අද..පටන් ගන්න වෙලාව මෙන්න..

Cricket Sri Lanka Cricket West Indies cricket team ICC Men
By Aruna Jan 30, 2024 06:52 AM GMT
Report

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (30 වැනිදා) කිම්බර්ලි ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ඇරැඹෙන මෙම තරගය ලෝක කුසලානයේ බලාපොරොත්තු සඳහා ශ්‍රී ලංකාවට අතිශය වැදගත් තරගයක් වනවා.

දෙවන වටයේ දෙවන කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව තරග වදින අතර මෙම තරගයේ ජයග්‍රහණය කාණ්ඩයේ පෙරමුණ ශ්‍රී ලංකාවට හිමි කර දීමට වැදගත් වනු ඇති බවයි පැවසෙන්නේ.

කාලගුණ අනාවැකිවලට අනුව අද තරගය සඳහා වර්ෂාව ඇතිවීමට ඉඩක් නොමැති අතර සෙල්සියස් අංශක 37කට ආසන්න දැඩි උණුසුමක් බලාපොරොත්තු විය හැකි බවයි එරට විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

එමෙන්ම ආර්ද්‍රතාව තරමක ඉහළ අගයක් ගන්නා බැවින් දහවල් කාලයේදී වේග පන්දුවට අවිනිශ්චිත ඉපිලීමක් මෙන්ම සවස් කාලයේදී දඟ පන්දුවට වැඩි වාසියක් දැක ගත හැකි වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

එමෙන්ම කාසියේ වාසිය හිමි කරගන්නා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා වැඩි උනන්දුවක් දක්වනු ඇතැයි විශ්වාස කළ හැකි ය.

අද තරගය පැවැත්වෙන කිම්බර්ලි ක්‍රීඩාංගණය පිතිකරුවන්ට වැඩි සහයෝගයක් ලබා දෙන ආකාරය පෙන්නුම් කළත් ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දැක් වූ දක්ෂතාව ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසීමට කරුණක් වනු ඇත.

මුල් පෙළ පිතිකරුවන් දක්ෂතා අතරට පිවිසියහොත් මෙම තරගය ජය ගැනීම සඳහා හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබෙන අතර වේග පන්දු යවන්නන්ටද මෙම තරගයේ වැඩි බරක් හිමි වේ.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට පළමුවෙන් පන්දුවට පහර දීමට සිදු වූවහොත් ලකුණු 230ට ආසන්න සංඛ්‍යාවක් ‍රැස් කර ගැනීමටත් දෙවන ඉනිමේදී නම් ලකුණු 200ට ආසන්න සංඛ්‍යාවක් හඹා යෑමටත් සූදානමින් සිටිය යුතු වනවා.

Sponsored By Sarrita Jewellery

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තීරණාත්මක තරගය අද..පටන් ගන්න වෙලාව මෙන්න.. | Sri Lanka And West Indies Under 19 World Cup Match