ශ්‍රී ලංකා පාතිස්තාන අද තරඟයේ වැඩි වාසි කාට ද?..ලංකාවට අලුත් බලාපොරොත්තුවක්..

Cricket Sri Lanka Cricket India Pakistan national cricket team ICC World Cup 2023
By Aruna Oct 10, 2023 04:04 AM GMT
Report

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය අද පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද් රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් දෙකම මේ දක්වා මෙම තරගාවලියේ තරගය බැගින් ක්‍රීඩාකොට සිටින අතර, පාකිස්තානය විසින් නෙදර්ලන්තය පරාජය කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ පසුබිමක හයිද්‍රාබාද් පිටියට පිවිසීමට නියමිතයි.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග නවයකට සහභාගි විය යුතු බැවින් එක් තරගයක් පරාජයවීම හෝ තරගයක් ජය ගැනීම මත ඔවුන්ගේ ඉදිරිය තීරණය නොවන බැවින් දෙපිලම මේ දෙවැනි තරගයේදී ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටියි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 156කට ක්‍රීඩා කොට එයින් පාකිස්තානය තරග 92කින් ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 59ක ජය වාර්තා කර තිබේ.

දෙරට අතර එක්දින තරග ඉතිහාසය පුරා තරග 4ක් විසඳුමකින් තොරව නිමා වී තරගයක් ලකුණු සමවී තිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අවසන් වරට හමු වූයේ මෙයට මාසයකට පමණ පෙර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී වන අතර ඒ ආසියානු ශූරතා තරගාවලියේදීයි.

එම තරගයේදී කුසල් මෙන්ඩිස් පන්දු 87කදී ලකුණු 91ක් ලබා පාකිස්තානය කඩුලු 2කින් පරාජය කිරීමට සමත් වුණා.

මේ හේතුවෙන් පාකිස්තාන පිල ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවී ගියා.

පාකිස්තාන කණ්ඩායම මෙයට දින 10කට පෙර ඉන්දියාවට පැමිණි අතර, ඔවුන්ට ඉහළ පෙළේ ආරක්ෂාවක් සපයා දැඩි ආරක්ෂක වළල්ලක් යොදවා ඇති හෙයින් මාධ්‍යවේදීන්ට පවා මාධ්‍ය ආවරණය අපහසු වී තිබුණා.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසුවේ, අද තරගයට මහීෂ් තීක්ෂණ සහභාගි කරවීමට අපේක්ෂා කරන බවයි.

“තීක්ෂණගේ සේවය අද තරගයට ලබාගත යුතුයි. පළමු තරගයේදී ඔහු සහභාගි කර අවදානමක් ගැනීමට අවශ්‍ය වුණේ නෑ. මොකද වෛද්‍ය උපදෙස් අනුව අප කටයුතු කළ යුතුයි.

ඒ නිසා මේ තරගයේදී ඔහුට තරග කිරීමේ අවස්ථාව තිබෙනවා“ නවීඩ් නවාස් මහතා වැඩි දුරටත් පැවැසීය.

“පාකිස්තානය සමඟ අපට ඇති එකම වාසිය අප මෑතකදී ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානය පරාජය කර සිටීමයි.

මේ කණ්ඩායම් දෙකම එකිනෙකාගේ ශක්තීන්, දුර්වලතා, කුමක්ද කියා හොඳින් දන්නවා. මේ නිසා මේ තරගය හොඳ ගැටුමක් වේවි.

හයිද්‍රාබාද් හතරේ සීමා දිල්ලියට වඩා තරමක් දිගයි. අපගේ ක්‍රීඩකයින්ට හොඳ අභියෝගයක් මේ තරගය.

දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලියේ දී අප ලකුණු හොඳින් රැස්කළ නිසා විශ්වාසය ගොඩනැඟී තිබෙනවා.

අපේ ක්‍රීඩකයින් හොඳ තැනක ඉන්නවා. සිදුවූ වැරදි හදාගෙන ඩෙත් ඕවර්වලදී පන්දු යවන ආකාරය අවබෝධ කරගෙන කටයුතු කළොත් අපට ජය ගන්න අපහසු නෑ” නවීඩ් නවාස් මහතා පැවැසීය.

පාකිස්තානුවන් මෙන් නොව, ශ්‍රී ලංකා පිලට හොඳ ස්ථාවරයක් තැබිය හැකි දෙය නම්, බොහෝ ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කර ඉන්දියාවේ තණතිලි පිළිබඳ ලබා ඇති අත්දැකීම් වේ.

ශ්‍රී ලංකා සංචිතය:

දසුන් ශානක (නායක)

කුසල් මෙන්ඩිස් (උප නායක)

කුසල් ජනිත් පෙරේරා

දිමුත් කරුණාරත්න

පැතුම් නිශ්ශංක

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

සධීර සමරවික්‍රම

දුනිත් වෙල්ලාලගේ

කසුන් රාජිත

මතීෂ පතිරණ

ළහිරු කුමාර

ඩිල්ෂාන් මධුෂංක

මහීෂ් තීක්ෂණ

දුෂාන් හේමන්ත

පාකිස්තාන සංචිතය:

බාබර් අසාම් (නායක )

අබ්දුල්ලා සෆීක්

අගා සල්මන්

ෆකර් සමාන්

හැරිස් රවුෆ්

හසන් අලී

ඉෆ්තිකාර් අහමඩ්

ඉමාම් උල් හක්

මොහොමඩ් නවාස්

මොහොමඩ් රිස්වාන්

මොහොමඩ් වසීම්

සවුද් ෂකීල්

සදාබ් ඛාන්

ෂහීන් ෂා අෆ්රිඩි

උසාමා මීර්