ශ්‍රී ලංකාව සහ පාකිස්ථානයට අද තරඟයෙන් සිදුවන දේ මෙන්න..
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙන ශ්‍රී ලංකාව සහ පකිස්තානය සුපිරි හතර දෙනාගේ වටයේ නිමාව සනිටුහන් කරමින් ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (09 වෙනිදා ) රාත්‍රී තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට තරගය ආරම්භ වීමට නියමිත අතර දැනටමත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙන ශ්‍රී ලංකාව සහ පකිස්තානයට අවසන් සටන වෙනුවෙන් මෙම තරගය හොඳ පෙරහුරුවක් වනු ඇත.
සාජා ක්‍රීඩාංගණයේදී පෙරේදා (07 වෙනිදා) ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයෙන් පකිස්තානය ජයග්‍රහණය කිරීමත් සමග ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට අවසන් තරගය පිළිබඳව බලාපොරොත්තු අත් හැරීමට සිදු විය.
එම ජයග්‍රහණයත් සමග පකිස්තානය ද ඔවුන් මෙතෙක් සුපිරි වටයේ සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වූ අතර ශ්‍රී ලංකාව ඊට පෙර ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය පරාජය කරමින් එම දස්කම ප්‍රදර්ශනය කර තිබුණි.
ඒ අනුව සුපිරි වටයේ අපරාජිතයන් ලෙසින් අද තරගයට ප්‍රවේශ වන කණ්ඩායම් දෙකේම අරමුණ වනු ඇත්තේ අවසන් මහා තරගයටද අපරාජිත මානසිකත්වකින් පිවිසීමය.
ඒ සඳහා කණ්ඩායම් දෙකටම අද තරගය ජයග්‍රහණය කිරීම වැදගත් වන අතර තරගාවලියේ මූලික වටයේ තමන් සහභාගි වූ පළමු තරගය කණ්ඩායම් දෙකම පරාජයට පත් විය.
ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේත් පකිස්තානය ඉන්දියාව හමුවේත් එලෙස පරාජයට පත් වුවත් ඉන් පසුව පැවැති තරග 3ම එක පෙළට ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
මෙවර තරගාවලියේ කණ්ඩායම් දෙකම එක සමාන ලෙස දස්කම් දක්වමින් තරගාවලියේ ඉදිරිය සඳහා ප්‍රවේශය උදා කර ගෙන ඇත.
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පන්දු වාර 20-20 තරග 21ක් මේ දක්වා පවත්වා ඇති අතර ඉන් තරග 13ක ජය පකිස්තානයටත් තරග 8ක ජය ශ්‍රී ලංකාවටත් හිමි වී ඇත.
මධ්‍යස්ථ ක්‍රීඩාංගණයන්හි දෙරට මුණ ගැසුණු අවස්ථාවන් 11 තුළදී පකිස්තානය ජයග්‍රහණ 8ක් ද, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ 3ක්ද වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාව මේ තරගාවලියේ දැක්වූ දස්කම් කෙරෙහි විශේෂයෙන් බලපෑ සාධකය වූ ආරම්භක පිතිකරුවන්ගේ සම්බන්ධතාව කෙරෙහි තම කණ්ඩායම වැඩි අවධානය යොමු කර ඇතැයි පකිස්තානය දඟ පන්දු යවන ක්‍රීඩක සදාබ් ඛාන් පෙරේදා පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබුණි.
ඉන්දියාවට එරෙහිව පසුගිය දා පැවැති තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 97ක් වූ අතර ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 62ක්ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 45ක් ලෙසින්ද සටහන් විය.
ඊට සාපේක්ෂව පකිස්තානය ආරම්භක කඩුල්ල වෙනුවෙන් හොඳ සම්බන්ධතාවක් ප්‍රදර්ශනය කිරීමට අසමත් වී තිබෙන අතර නායක බාබර් අසාම් මේ තරගාවලිය තුළ මෙතෙක් ලකුණු අතරට නොපැමිණීම ඊට හේතු වී ඇත.
අවසන් මහා තරගයට පෙර පකිස්තානයට මෙන්ම නායක බාබර්ට ද අද තරගය වැඩි වැදගත්කමක් ගනු ඇත.
ශ්‍රී ලංකාවේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ මෙතෙක් දැක්වූ දස්කම් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය අයුරුද විචාරකයන්ගේ ඇගයීමට ලක් ව තිබේ.
පාකිස්තාන සංචිතය
බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ෆකාර් සමාන්, ඉෆ්තිකර් අහමඩ්, කුෂ්දිල් ෂා, අසීෆ් අලී, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, හාරිස් රවුෆ්, මොහොමඩ් හස්නයින්, උස්මාන් කාදර්, හයිඩර් අලී, හසන් අලී සහ ශානවාස් දහානි
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හරසංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |