ලංකාවට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් දෙන්න චීනයෙන් දැනුම් දීමක්..සුබ පණිවුඩයක්!!

Sri Lanka China Ship In Sri Lanka
By Aruna Sep 23, 2022 05:54 AM GMT
Report

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi shenhong මහතා අරලිගහ ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී තිබෙනවා.

චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව අගමැතිවරයා මෙහිදී කීවේය.

විශේෂයෙන් වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීමට ලබා දෙන සහායට ස්තූතිය පළ කෙරුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විශේෂ සදහනක් කළේය.

දෙරට අතර ඓතිහාසික ද්විපාර්ශ්වික මිතුදමක් පවතී.

පවතින තත්වය හමුවේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේ දී අවධාරණය කෙරුණි.

ආර්ථික ප්‍රශ්න වලට දීර්ඝකාලීන විසඳුම් ලබාදීම සඳහා සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, වාරිමාර්ග සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන ශ්‍රී ලංකාව පිළිගන්නා බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තම රට සෑහීමකට පත්වන බව චීන තානාපති Qi shenhong මහතා මෙහිදී කීවේය.

චීනය ද එම අරමුදලේ සාමාජිකයකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට තානාපති වරයා සහතික විය.

චීනය දැනටමත් ශ්‍රී ලංකාවට ඩොලර් $400,000 වටිනා ආහාර හා අනෙකුත් මානුෂීය ආධාර ලබාදී තිබේ.

තවත් අවශ්‍ය දේ ඇත්නම් ඊට අදාල ලයිස්තුවක් ලබාදෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කෙරුණි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත චීන ජාතික දින සැමරුම් උත්සවයට අගමැතිවරයා සිය උපහාර පිරිනැමීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද එක්ව සිටියේය.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now