මුළු රටම බලා සිටින 20යි 20 අද තරඟයේ සිදු වෙන්න යන දේ මෙන්න...

Cricket Sri Lanka Cricket Afghanistan Cricket Team
By Aruna Feb 17, 2024 01:24 AM GMT
Report

ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17දා) ප.ව. 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවැති එකම ටෙස්ට් තරගයත්, එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙසත් ශ්‍රී ලංකාව ජයගත් නිසා, ඇෆ්ගනිස්තනයට ගෞරවය බේරාගැනීමට ඉතිරිව ඇති අවසන් අවස්ථාව මෙය බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

මෙය වසර 06කට පසු දඹුල්ලේ පැවැත්වෙන පළමු පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙන්ම දඹුල්ලේ පැවැත්වෙන පළමු පිරිමි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයද වීම විශේෂත්වයක්.

එනිසාම ක්‍රීඩාලෝලීන්ද ඉහළ උනන්දුවකින් පසුවන අතර, අද තරගයට අදාළ සියළු ප්‍රවේශපත් මීට දෙදිනකට පෙරම අවසන්වීම ඊට හොඳම උදාහරණයක් වනවා.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයට ඇත්තේ වසර 08ක (2016 සිට) කෙටි අතීතයක්.

ඉන් මේ දක්වා පැවැත්වී ඇත්තේ තරග 05ක් පමණක් වන අතර, ඉන් තරග 03ක් ශ්‍රී ලංකාවත්, තරග 02ක් ඇෆ්ගනිස්තානයත් ජයගෙන ඇත.

මේ අතර අද තරගය පිළිබඳ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවේදී නායක වනිඳු හසරංග පවසා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් හත් දෙනෙකු සමගින් තරගට අවතීරණ වීමට වැඩි ඉඩක් ඇති බවයි.

"අවසන් සංචිතය තවම තීරණය කරලා නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ පන්දු යවන්නෝ 04කින් ක්‍රීඩා කරන්න.

ඒ වගේම පිතිකරුවෝ හත් දෙනාගෙන්, තුන්ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් එක්ක තරගයට මුහුණ දෙන්න.

විස්සයි20 ලෝක කුසලානය මඟ එනවා. ඊට කළින් ක්‍රීඩාකරන්න තියෙන්නේ මේ තරග තුනත් එක්ක තරග 06ක් වගේ.

ඒ නිසා ඒක ගැන ඔළුවේ තියාගෙන තමයි සෑම සැලසුමක්ම ක්‍රියාත්මක කරන්නේ. දඹුල්ල කියන්නේ හොඳ ක්‍රීඩාංගණයක්.

ඒ වගේම හොද ක්‍රීඩාලෝලීන් රැසක් එක්වන තැනක්. පසුගිය එක්දින තරග තුනෙත් තරග නරඹන්න ඇවිල්ලා, ක්‍රීඩාලෝලීන් අපට හොද සපෝට් එකක් දුන්නා.

අපට එහෙම සපෝට් කරන එක කණ්ඩායමකට ලොකු ශක්තියක්.

අපි ක්‍රීඩා කරනකොට අපේ රටෙන් ඒ වගේ සහයෝගයක් ලැබෙනකොට, අපිත් උත්සාහ කරන්නේ කොහොම හරි නරඹන්න එන අයට සාධාරණයක් කරන්න.

එක්දින තරගාවලියේදී ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට බිනුර ප්‍රනාන්දු ඇවිත් ඉන්නවා.

ඒ වගේම මතීෂ පතිරණ, නුවන් තුෂාර හා ඩිල්ෂාන් මධුසංක ශ්‍රී ලංකා වේග පන්දුව ශක්තිමත් කරන්න සංචිතයට කැඳවා තිබෙනවා" යනුවෙන් පැවසුවා.

කෙසේ නමුත් මෙහිදී බැහැර කළ නොහැකිම කාරණය නම්, ටෙස්ට් හෝ එක්දින ආකෘතියට සාපේක්ෂව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට නූතන විස්සයි20 තරග රටාව ගැන අත්දැකීම් රැසක් තිබීමයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වූ එරට සහාය පුහුණුකරු රයීස් අහ්මඩ්ද ඒ බව පවසා සිටියේ ය. "නිමාවුණු එක්දින ලෝක කුසලානයට කළින් බොහෝ අය ඇෆ්ගනිස්තානය ප්‍රබල කණ්ඩායමක් විදියට සැලකුවේ නැහැ.

නමුත් අපි දැක්වූ දක්ෂතාත් සමඟ ඇෆ්ගනිස්තානය T20 කණ්ඩායමක් පමණක් කියලා ගොඩක් දෙනෙක් තේරීම් ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අපේ ක්‍රීඩකයින් බොහොමයක් ලොව පුරා විවිධ ෆ්‍රැන්චයිස් වල ක්‍රීඩා කරනවා. ඉන් අපේ අටක් හෝ නවයක් IPL ක්‍රීඩා කරනවා. ඒ අත්දැකීම් කණ්ඩායමට උපකාරී වේවි.

මම හිතන්නේ ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්තානයට මුහුණ දීම අනෙකුත් කණ්ඩායම්වලට පහසු දෙයක් නොවේවි.

ඔවුන්ට ක්‍රීඩා කරන්න කළින්ම ඇෆ්ගනිස්තානය ගැන දෙපාරක් හිතන්න වේවි" යනුවෙන් එළබෙන ලෝක කුසලානයට ඇති සූදානම පිළිබඳ සහාය පුහුණුකරු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

ඒ අනුව අද තරග වදින කණ්ඩායම් දෙකේ සංචිතය පහත පරිදි වේ.

ශ්‍රී ලංකා සංචිතය

වනිඳු හරසංග (නායක),

චරිත් අසලංක (උපනායක),

අකිල ධනංජය,

ධනංජය ද සිල්වා,

බිනුර ප්‍රනාන්දු,

ඩිල්ෂාන් මධුෂංක,

ඇන්ජලෝ මැතිව්ස්,

කමිඳු මෙන්ඩිස්,

කුසල් මෙන්ඩිස්,

පැතුම් නිස්සංක,

මතීෂ පතිරණ,

කුසල් පෙරේරා,

සදීර සමරවික්‍රම,

දසුන් ශානක,

මහීෂ් තීක්ෂණ,

නුවන් තුෂාර

ඇෆ්ගනිස්තාන සංචිතය

ඊබ්‍රාහිම් සද්‍රාන් (නායක),

අස්මතුල්ලාහ් ඔමර්සායි,

ෆරීඩ් අහ්මඩ්,

ෆසල්හක් ෆාරුකි,

ගුල්බඩින් නයිබ්,

හස්රතුල්ලා සසායි,

කරීම් ජනට්,

මොහොමඩ් ඉෂාක්,

මොහොමඩ් නබි,

නජිබුල්ලා සද්‍රන්,

නවීන්-උල්-හක්,

නූර් අහ්මඩ්,

කයිස් අහ්මඩ්,

රහ්මානුල්ලා ගුර්බාස්,

ෂරෆුදීන් අෂ්රෆ්,

වෆාඩර් මොමන්ද්