මූල්‍ය අපරාධ ගැන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක් - අගමැතිනිය කියූ දේ මෙන්න

Sri Lanka Economic Crisis Economy of Sri Lanka Harini Amarasuriya Latest Headlines Sinhala news
By R.rishma Oct 27, 2026 04:20 AM GMT
Report

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය තීරණය වන්නේ එහි පවතින ආයතන හා රෙගුලාසි මත පමණක් නොව, ඒවා කෙතරම් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ අවි ව්‍යාප්තියට මූල්‍ය පහසුකම් සැපයීම වැළැක්වීම (AML/CFT/CPF) පිළිබඳ ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා පැසිෆික් කණ්ඩායම (APG) විසින් මෙහෙයවනු ලබන මෙම ඇගයීම, මූල්‍ය අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ජාත්‍යන්තරය හමුවේ තහවුරු කිරීමට මෙන්ම තවදුරටත් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට ද වැදගත් අවස්ථාවක් බව ඇය පෙන්වා දුන්නාය.

දූෂණය හේතුවෙන් රාජ්‍ය ආයතන කෙරෙහි, විශේෂයෙන්ම මූල්‍ය ආයතන කෙරෙහි, මහජන විශ්වාසය පළුදු වීම රටේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට බරපතළ අභියෝගයක් එල්ල කරන බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, මහජන විශ්වාසය යළි ගොඩනැඟීම සහ රටේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවය, වගවීම, ආයතන අතර මනා සම්බන්ධීකරණය සහ නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද ඇය සඳහන් කළාය.

මතුවෙමින් පවතින මූල්‍ය අවදානම්වලට මුහුණ දීම සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, ඇගයීම් කණ්ඩායම සහ අදාළ සියලු පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය යළි අවධාරණය කළාය.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයා, මූල්‍ය බුද්ධි ඒකකයේ සාමාජිකයන් සහ ඇගයීම් කණ්ඩායමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.