අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්..ක්‍රීඩා කළ හැකි නව කණ්ඩායම මෙන්න..
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන 06 වන තරගය අද (30 වැනිදා) පෙරළිකාර ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලෝක කුසලානයකදී කිසිවිටෙකත් ටෙස්ට් ක්‍රීඩා කරන රටක් පරාජය කෙරුමට නොහැකිව සිටි ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙවර ලෝක කුසලානයේදී ඉතිහාසය වෙනස් කරමින් පාකිස්තානය සහ එංගලන්තය පරාජය කිරීම හේතුවෙන් අද තරගය සුළුවෙන් තැකිය නොහැකි බව විචාරකයින් පවසයි.
මේ දක්වා ලෝක කුසලාන ගමනේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5කට මුහුණදුන් අතර ඉන් පළමු තරග තුනෙහිම ශ්‍රී ලංකාවට පරාජය උරුම විය.
සිව්වන සහ පස්වන තරගයන්හීදී නෙදර්ලන්තය සහ එංගලන්තය පැරැදවූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවක් ලබා ගැනීමට නම්, මෙම ජයග්‍රහණය අත්‍යවශ්‍ය වනු ඇති.
තරගය පැවැත්වෙන පූනේ ක්‍රීඩාංගණය පිතිකරුවන් සඳහා වඩාත්ම උචිත ක්‍රීඩාංගණයක් වන අතර පූනේ ක්‍රීඩාංගණයේ තණතීරුවල ඇති 'කළු පස' හේතුවෙන් පිතිකරුවන්ට උචිත පන්දු ඉලිප්පීමක් සමස්ත තරගය පුරාවටම දක්නට ලැබෙනු ඇත.
එමෙන්ම මෙම ක්‍රීඩාංගණයේ 'පින්න' අනෙකුත් ඉන්දීය ක්‍රීඩාංගණවලට සාපේක්ෂව ඉතාම අවම මට්ටමක පැවතීම නිසා දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායමට අමතර වාසියක් හිමි නොවනවා මෙන්ම කාසියේ වාසියෙන් තරග තීරණයට ඇති බලපෑමද ඉතාමත්ම අවම මට්ටමක පවතිනු ඇත.
කෙසේ වෙතත් ලකුණු 300 ඉක්මවූ අවස්ථා පවා සාර්ථකව හඹා යෑමට හැකි මෙම ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය හිමි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යොමු කිරීමේ තීරණය ගැනීම සඳහා නැඹුරුවක් පවතින බවයි විචාරකයින් පවසන්නේ.
පූනේ තණතීරු පිතිකරුවන්ට පාරාදීසයක් වූවත් පන්දු යැවීමේ විනය රැකගනිමින් පන්දු යොමු කරන පන්දු යවන්නන්ටත් තරමක වාසියක් දෙන බව දක්නට ලැබීම ද විශේෂත්වයකි.
බොහෝවිට නව පන්දුවේ දෝලනයට මෙන්ම පැරැණි පන්දුවේ දඟ කැවීමට පවා මෙහිදී ඉඩක් තිබෙන අතර පන්දු යවන්නන්ගේ විනය සහ දක්ෂතා මත පිතිකරුවන් සීමා කිරීමේ හැකියාවක් බොහෝවිට පවතී.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වේගය හෝ දඟ කැවීමට පෙර පාලනය පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත.
පිතිකරන අංශයෙන් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකු වන සධීර, පැතුම් සහ කුසල් මෙන්ඩිස් ලකුණු අතර සිටින අතර පිතිකරුවන්ට උචිත මෙම තණතීරුව ලකුණු අතර නොමැති පිතිකරුවන්ට සිය දක්ෂතා අතරට පිවිසීමට මහඟු අවස්ථාවක් වේ.
එමෙන්ම මෙවන් තණතීරුවක ප්‍රහාරාත්මක ඇෆ්ගනිස්තාන පිතිකරුවන් ඉදිරියේ පන්දු යැවීමේ විනය පවත්වා ගැනීම ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් හටද පරීක්ෂණයක් වනු නොවනුමානයි.
පූනේ ක්‍රීඩාංගණයේදී දඟ පන්දුවට එතරම්ම සහායක් නොලැබෙන හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් පමණක් සිදුවීමට ඉඩක් පවතින බවයි නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ.
ආබාධයට ලක් වූ ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමටද අද ඉඩක් පවතී.
එමෙන්ම ලකුණු අතර නොමැති ධනංජය ද සිල්වාගේ සහ කුසල් ජනිත් පෙරේරාගේ පිතිකරණ ස්ථානයන්ගේ වෙනසක් සිදුකිරීමටද ඉඩක් ඇති බවට ද වාර්තා වේ.
මේ අනුව අද ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ -
01. පැතුම් නිස්සංක
02. ධනංජය දි සිල්වා
03. කුසල් මෙන්ඩිස්
04. සධීර සමරවික්‍රම
05. චරිත් අසලංක
06. කුසල් ජනිත් පෙරේරා
07. ඇන්ජෙලෝ මැතිව්ස්
08. මහීෂ් තීක්ෂණ
09. දුශ්මන්ත චමීර
10. දිල්ශාන් මධුශංඛ
11. කසුන් රාජිත