ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව වන අද තරඟයේ ඇසෙන අමුතු කතාව...සියලු බලාපොරොත්තු අහිමි වෙයි?..
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බ්‍රිස්බේන් හී ගැබා ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැත්වීමට යෙදී ඇති තරගයට වර්ෂාව බලපෑම් ඇතිකරයිද යන සැකය ශ්‍රී ලංකා කඳවුර සලිත කරන කරුණ බවට ඊයේ වන විට පත්ව තිබුණා.
ඊයේ (31වැනිදා) දිනයේදී බ්‍රිස්බේන් හී පැහැබර කාලගුණයක් පැවැතියද ඊයේ පස්වරුව වන විට පැවැති උණුසුම් අධික කාලගුණය අද දිනයේදී වැසි වැටීමේ පෙර නිමිත්තක් විය.
එසේම අද දිනයේදී වැසි වැටීමේ සම්භාවිතාව සියයට සියයක් ලෙසින් කාලගුණ වාර්තාවේ සඳහන් විය.
යම් ලෙසකින් වර්ෂාව ඇද වැටීම නිසා මෙම තරගය විසඳුම් රහිතව නිමවුවහොත් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව තරග බලාපොරොත්තු මෙතැනින් අවසන් වනු ඇත.
මේ වන විට තරගාවලියේ ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට නම් අද තරගය සහ ලබන 05 වැනිදා සිඩ්නි හී පැවැත්වෙන එංගලන්තය සමග තරගයෙන්ද ජය ගනිමින් එක් තරග ජයග්‍රහණයකට ලකුණු 2 බැගින් තරග ලකුණු 4ක් හිමිකරගන්නා අතරවාරයේ ඔස්ට්‍රේලියාව ඉතිරි තරගයක් පැරදිය යුතුව තිබිණි.
එසේම ශ්‍රී ලංකාව සහභාගීවන ඉදිරි තරග දෙකෙන් එකක් හෝ වර්ෂාව හේතුවෙන් අතහැරදැමීමට සිදුවුවහොත් අදාළ තරග ලකුණු එකතුව වෙත යෑමට ශ්‍රී ලංකාවට නොහැකිවනු ඇත.
ශ්‍රී ලංකාවේ සූදානම කෙසේ වුවද අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැය 3ක පමණ පුහුණුවක යෙදුණු අතර ශාරිරික යෝග්‍යතාව වර්ධනය කරගැනීම වෙනුවෙන්ද කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනදාට වඩා අවධානයක් සහිතව කටයුතු කරන අයුරක් දිස්විය.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැක.
ඉකුත් තරග කිහිපයේදීම තීරණාත්මක දායකත්වයක් ලබාදීමට අපොහොසත් වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න වෙනුවට පන්දුව ක්ෂණිකව ඉහළ නගින සහ මනා දෝලනයක් සහිත ගැබා තණතීරුවේ අද තරගයේදී නිත්‍ය වේග පන්දු යවන්නකුට අවස්ථාව ලබාදීම උචිත වනු ඇත.
එසේ වුවහොත් ආබාධයෙන් මිදී හොඳින් පුහුණුවීම් කටයුතු සිදුකරමින් සිටින ප්‍රමෝද් මධුශාන් එම අවස්ථාව ලබාදිය හැකිය.
ආසියානු කුසලාන සමාරම්භක තරගයේදී කඩුලු 8කින් ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීමට ඇෆ්ගනිස්තානයට හැකිවූ බැවින් අද තරගයේදීද එවැනි පෙරළියක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඇෆ්ගනිස්තානය අද සටනට එනු නිසැකය.
එසේම අද තරගයෙන් පරාජයට පත්වුවහොත් ඇෆ්ගනිස්තානයටද අවසන් පූර්ව තරග අවස්ථාව සහමුළින්ම අමතක කර දැමීමට සිදුවනු ඇති බැවින් ඔවුන් අද සිය උපරිම උත්සහය යොදනු ඇත.
මෙහිදී ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ගේ අංශයෙන් රහමනුල්ලා ගුර්බාස් ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ගේ අංක එකේ ඉලක්කයක වනු ඇත.
එල්.පී.එල් තරගාවලියද ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු යැවීමේ ස්වභාවය හඳුනන ගුර්බාස් ඉකුත්දා පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා මුණගැසුණු අවස්ථා දෙකෙහිදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව දැඩි ප්‍රහාරයකට ලක්කළේය.
අද සිය ඉලක්කය වෙත යෑමට නම් ඉකුත් තරගයේදී දුටු බරපතලම දුර්වලතාව වන පන්දු රැකීමේ අංශය යළිත් ආසියානු කුසලානේදී තිබූ මට්ටම දක්වා ඉහළ නංවාගැනීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
නමුත් තරගාවලියේ මේ දක්වා ඇෆ්ගනිස්තාන දඟ පන්දු යැවීමේ බලඇණියට විශේෂ දක්ෂතාවක් දැක්වීමට නොහැකි වී තිබීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට සුබදායී තත්ත්වයකි.
මේ අතර ඔස්ට්‍රේලියාවට ඉතිරිව තිබූ තරග දෙකෙන් එකක් වන අයර්ලන්තය සමග ඊයේ පැවැති තරගය ලකුණු 42කින් ඔස්ට්‍රේලියාව විිසින් ජයගැනීමත් සමග ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව තරග බලාපොරොත්තු තවත් ඈතට ගියේය.
ඔස්ට්‍රේලියාවට තවත් ඉතිරිව ඇත්තේ ඇෆ්ගනිස්තානය සමග තරගය පමණක් වන අතර එහිදීද වැඩි ජයග්‍රාහී සම්භාවිතාවක් පවතිනුයේ ඔස්ට්‍රේලියාව සතුවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |