රාජ්‍ය සේවකයෙන්ට දැන් කතා කරන්නත් නිදහසක් නැද්ද? - පරිපාලනය විවේචනය කළොත් දැන් වැඩ වරදී

Government Employee Department of Prisons Sri Lanka Latest Headlines Sinhala news NPP Government
By Shehan Jun 29, 2025 04:09 AM GMT
Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

දෙපාර්තමේන්තුව පවසන පරිදි, යම් නීතිවිරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට අවශ්‍ය නම්, ඒවා ලිඛිතව බන්ධනාගාර මූලස්ථානය වෙත ඉදිරිපත් කළ හැකි බවයි.

එවැනි විධිමත් ක්‍රමවේදයක් පවතින අතරවාරයේ, ඇතැම් බන්ධනාගාර නිලධාරීන් සමාජ මාධ්‍ය ජාල හරහා දෙපාර්තමේන්තුවේ කටයුතු විවේචනය කරන බවට තොරතුරු හෙළි වී ඇත.

එසේ විවේචන සිදුකරන බොහෝ නිලධාරීන් බන්ධනාගාර තුළ විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ වූවන් බවටද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ වන විටත් එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැකකෙරෙන නිලධාරීන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

එම නිලධාරීන් අතර කුරුවිට බන්ධනාගාරයේ සේවය කරන සැරයන්වරයෙකු සහ නියාමකවරයෙකු ද වන බව වාර්තා වේ.

මෙලෙස අනිසි ලෙස කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමට බන්ධනාගාර බුද්ධි අංශය මගින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, එවැනි නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගැනීමට සැලසුම් කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වය බන්ධනාගාර පද්ධතිය තුළ විනය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබිඹු කරන අතර, එවැනි අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව ඉදිරි විමර්ශන සිදුකරන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.