බෙංගාල බොක්ක කැළඹෙයිද? පීඩන අවපාතයක් ඇතිවීමේ හැකියාවක් ගැන විශේෂ අනතුරු ඇඟවීමක්
දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසින් පිහිටා ක්රමයෙන් බටහිර දෙසට ගමන් කරමින් පවතින බැවින්, දිවයිනේ ප්රදේශ රැසකට දවස පුරා වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා මේ බව සඳහන් කළේය.
දිවයින ආශ්රිතව පවතින අන්තර් අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් ප්රදේශ කිහිපයකට අඛණ්ඩව වැසි ඇදහැළෙමින් පවතින බවත්, ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි වාර්තා වන බවත් ඒ මහතා පැවසීය.
හෙට (23) දිනයේදී ද දිවයිනේ සියලු ප්රදේශවලට දවස පුරා වැසි ඇතිවීමේ තත්ත්වය පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, අන්තර් අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් ඔක්තෝබර් 23 වනදා වන විට අන්දමන් දූපත් ආශ්රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්වීමට ද ඉඩ ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම තත්ත්වයෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් ඇති නොවුණද, සුළං ප්රවාහය දිවයින හරහා ගමන් කිරීම හේතුවෙන් නිරිතදිග ප්රදේශවල පවතින වැසි තත්ත්වය ඔක්තෝබර් 27 වනදා දක්වා අඛණ්ඩව පැවතිය හැකි බව මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.
එසේම, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ද පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ඔහු පැවසීය.
ඒ අනුව, ඉදිරි දිනවලදී බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල ධීවර කටයුතුවල නිරත වන පිරිස්, විශේෂයෙන්ම බහුදින ධීවර යාත්රා පදවන්නන්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.