ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණයෙන් විවෘත වරෙන්තුවක්
අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ අධිකරණය, එය කඩිනමින් ක්රියාත්මක කිරීමට අවශ්ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කර ඇත.
එමෙන්ම, අද අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේදී එවක ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ කහවත්ත ප්රදේශයේ පැවැති ප්රචාරක රැළියකට වෙඩි ප්රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ප්රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය පසුව විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් 4 වැනිදා අවසන් කර තිබුණි. ඒ අනුව, විත්තිකරුවන් තිදෙනාට අද (21) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබිණි.
එහෙත්, නඩුව අද කැඳවූ අවස්ථාවේදී ප්රේමලාල් ජයසේකර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා, විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම විවෘත වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කර ඇත.