වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට

Sri Lanka Spain FIFA World Cup Latest Headlines Puwath.lk
By R.rishma Jul 20, 2026 05:37 AM GMT
Report

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් ලෝක ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් විය.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි MetLife ක්‍රීඩාංගණයේ පැවති තරගයේ නියමිත මිනිත්තු 90 අවසන් වන විට දෙපිළම ගෝල රැස් කිරීමට අපොහොසත් වූ අතර, තරගය අතිරේක කාලය දක්වා ඇදී ගියේය.

අතිරේක කාලයේ 106 වැනි මිනිත්තුවේදී ෆෙරාන් ටෝරස් ලබාගත් තීරණාත්මක ගෝලයත් සමඟ ස්පාඤ්ඤය තරගයේ පෙරමුණ ගත්තේය. VAR තාක්ෂණය ඔස්සේ සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව එම ගෝලය නිල වශයෙන් තහවුරු කෙරිණි.

මේ අතර, තරගයේ 90+3 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් දෙවැනි කහ කාඩ්පත ලබා රතු කාඩ්පතට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් කෙරිණි. ඒ අනුව අතිරේක කාලය පුරා ආර්ජන්ටිනා කණ්ඩායමට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් තරග කිරීමට සිදුවිය.

ලියොනෙල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආර්ජන්ටිනා කණ්ඩායම සම තත්ත්වයක් ලබා ගැනීමට උත්සාහ කළද, ස්පාඤ්ඤ ආරක්ෂක පෙළ සහ ගෝල් රකින්නා අභිබවා යාමට ඔවුන්ට නොහැකි විය.

2010 වසරේදී පළමු වරට FIFA ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය, ඒ අනුව වසර 16කට පසු සිය දෙවැනි ලෝක ශූරතා කිරුළ හිමිකර ගැනීමට සමත් විය.