කොළඹ ගංවතුරට වැස්සට දොස් කියලා බැහැ - හර්ෂණගෙන් නගරාධිපතිට විවේචනයක්
වත්මන් ආණ්ඩුව නව නීති හඳුන්වාදීම හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරමින් රට තුළ ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා චෝදනා කරනවා.
අද (09) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ආණ්ඩුව විසින් හඳුන්වාදීමට සූදානම් වන ත්‍රස්ත විරෝධී පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත හරහා කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතළ බලපෑමක් එල්ල විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විපක්ෂයේ සිටියදී මෙම නීතිවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් වත්මන් අමාත්‍ය විජිත හේරත් සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන්, බලයට පත්වීමෙන් පසුව එම නීති හඳුන්වාදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.
එමෙන්ම අදාළ නීති සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් සංවිධාන සහ විදේශීය තානාපති කාර්යාල ඇතුළු පාර්ශ්ව විරෝධතා පළ කර ඇති බවද ඔහු සඳහන් කළා.
වරෙන්තුවකින් තොරව සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට බලය ලබාදෙන නීති හඳුන්වාදීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව පෙන්වා දුන් හර්ෂණ රාජකරුණා මහතා, ආණ්ඩුව ඒකාධිපති පාලන මාවතකට ගමන් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළා.

අධිකරණයේ ස්වාධීනත්වය ගැනත් ප්‍රශ්නයක්
මේ අතර 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, එම ක්‍රියාවලිය හරහා අධිකරණයට දේශපාලන බලපෑම් එල්ල කිරීමේ උත්සාහයක් පවතින බවටද චෝදනා කළා. රජයට අවශ්‍ය ආකාරයට තීන්දුවක් ලබා නොදුන් බව කියමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා හදිසියේ මාරු කිරීමට පියවර ගෙන ඇති බවත්, එම මාරුව සම්බන්ධයෙන් වෙනත් සාධාරණ හේතුවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා. ආණ්ඩුවේ ක්‍රියාකලාපය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අයවැයෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නැයි ඉල්ලීමක්
නොවැම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා අයවැය විවාදය පැවැත්වෙන බැවින් මෙම වසර තුළ නව නීති හඳුන්වාදීමට ඇති කාලය සීමිත බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් ලබන වසරේදී අදාළ නීති හඳුන්වාදීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව ජනතාව සමඟ එක්ව ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවද හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියා. එමෙන්ම ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පොරොන්දු මෙවර අයවැයෙන් හෝ ඉටු කිරීමට අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළා.
රජයේ සේවක වැටුප් වැඩි කිරීම, විදුලි බිල්පත් තුනෙන් එකකින් අඩු කිරීම සහ පෙට්‍රල් හා ඩීසල් මිල සූත්‍රය අහෝසි කර වරායට ගොඩබාන මිලට ඉන්ධන ලබාදීම ඇතුළු පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ආණ්ඩුව පොරොන්දු වී තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටද ඔහු චෝදනා කළා.

කොළඹ ගංවතුර ගැන නගරාධිපතිවරයාටත් විවේචනයක්
මේ අතර පසුගියදා කොළඹ නගරය ජලයෙන් යටවීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිවරයා කළ ප්‍රකාශයද හර්ෂණ රාජකරුණා මහතාගේ විවේචනයට ලක්වුණා. මිලිමීටර් 50කට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් කොළඹ නගරය ජලයෙන් යටවූ බවට නගරාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව පැවසූ ඔහු, එවැනි ප්‍රකාශ සිදුකරනවා වෙනුවට නගරයේ ජල බැස යාමේ පද්ධති නිසි පරිදි නඩත්තු කිරීමට පියවර ගත යුතු බව සඳහන් කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇති පරිදි මීට පෙරද කොළඹට මෙවැනි වර්ෂාපතනයන් ලැබී ඇති බවත්, ප්‍රධාන ගැටලුවක් ලෙස කාණු පද්ධති නිසි පරිදි පිරිසිදු නොකිරීම හඳුනාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
නොවැම්බර් මාසයේදී එල් නිනෝ තත්ත්වයන් සමඟ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම්දී තිබූ බවද ඔහු සඳහන් කළා. එබැවින් පසුගිය වසරවල වර්ෂාපතනය පිළිබඳව අදහස් දැක්වීම වෙනුවට කොළඹ මහ නගර සභාව කාණු පද්ධති පිරිසිදු කිරීම සහ ජලය බැස යාම විධිමත් කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.