ජාති, ආගම් භේද පසෙකලා එකම මව්බිමක් ලෙස ඉදිරියට යමු - අගමැතිනි හරිනිගෙන් දීපාවලී පණිවුඩයක්
විවිධත්වයෙන් පිරි අපගේ සංස්කෘතික බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින්, ජාති හා ආගම් භේදයකින් තොරව එකම මව්බිමක් ලෙස ඉදිරියට යාමට දීපාවලී උත්සව සමයේදී සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අදට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.
දීපාවලී උත්සවය යනු සමාජය තුළ පවතින අන්‍යෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවද ඇය සිය පණිවුඩයෙන් පෙන්වා දෙනවා.
එමෙන්ම විවිධ ජාතීන් හා ආගම්වලට අයත් ජනතාව අතර පවතින සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගනිමින් සාමකාමී සහ සහජීවනයෙන් පිරි රටක් ගොඩනැඟීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සම්පූර්ණ දීපාවලී සුබපැතුම් පණිවුඩය පහතින්.
අන්ධකාරය පරදා ආලෝකය උදා කරමින්, නපුරට එරෙහිව යහපත ලැබූ ජයග්‍රහණය සංකේතවත් කරන දීපාවලි උත්සවය, ආධ්‍යාත්මික ශුද්ධියෙන් පිරි මංගල්‍යයකි.
පහන් දැල්වීමෙන් නිවෙස් ආලෝකවත් වනවා සේම, අපගේ සිත් තුළ ඇති ද්වේෂය, ඊර්ෂ්‍යාව සහ අඥානකම නමැති අන්ධකාරය දුරු කරමින් ප්‍රඥාවේ හා කරුණාවේ පහන දැල්වීමට මෙම උතුම් දිනය අපට කදිම අවස්ථාවක් ලබා දෙයි.
ශ්‍රී ලංකාව වැනි බහුජාතික, බහුආගමික රටක දීපාවලී උත්සවය යනු අප අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරලීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව මම විශ්වාස කරමි.
විවිධත්වයෙන් අනූන අපගේ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරමින්, ජාති, ආගම් භේදයකින් තොරව එකම මව්බිමක් ලෙස ඉදිරියට යාමට දීපාවලී උත්සව සමයේදී අප සැම අධිෂ්ඨාන කරගත යුතුය.
දීපාවලී දිනය ලක් වැසි ලෝවැසි සියළු හින්දු භක්තිකයින්ට සතුට, සාමය, සෞඛ්‍යය සහ සමෘද්ධිය පිරි දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි!