ඩොලර් මවන්න පුළුවන් ලංකාවේ සුපිරිම ක්‍රමය මෙන්න..
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමක් ඇති කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව ප්‍රකාශ කළේ "ස්ථාවර දේශයකට සාමූහික මාවතක්" මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රට තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීම සඳහා මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේද ක්‍රමයේ නව ප්‍රවණතා රැසක් ඇති කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙසේද පැවසීය. දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පිබිදීමක් ඇති වූ යුගයක් ලෙස මෙම කාලසීමාව හැඳින්විය හැකියි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම මත අපි පසුගිය කාලයේ විශාල වැඩ කොටසක් කළා. අපේ රටේ දේශීය වෛද්‍ය සේවාව ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලෙස දීර්ඝ කාලයක සිට පැවතුණා.
ඉන් ඔබ්බට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය වාණිජ වටිනාකමක් ඇති විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව දැන් ආරම්භ කර තිබේ.
විශේෂයෙන්ම දේශීය වෛද්‍ය අධ්‍යාපන හා වෙළෙඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සහ සමුළුවක් සැප්තැම්බර් 8, 9 සහ 10 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම ප්‍රදර්ශනය සඳහා විවිධ රටවල නියෝජිතයින් සහභාගී වීමට නියමිතය. අපේ රටේ ආයුර්වේද නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය වෙළෙඳපොළ සොයා බලා ඒ පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම සිහිකල්පනාව තුළින් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ආයුර්වේද දෙපාර්තමේන්තුව අද පාසල් ආපනශාලා වැඩසටහනක් ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 2500 කට ආසන්න සංඛ්‍යාවක් සිටිති.
ඔවුන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. ඒ වගේම 1961 වසරේ ස්ථාපිත ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ගෝපදේශ ද ලබාදී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට යටත්ව ආයුර්වේද පනතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. රටේ පහත සඳහන් අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධ පැළෑටි වගා කිරීම සම්බන්ධ වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර ඇත.
ඒ වගේම ආයුර්වේද ක්‍ෂේත්‍රයේ ඉහළ කාර්යක්‍ෂමතාවයක් ලබා ගැනීම සඳහා අපි එහි සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් රැසක් සංශෝධන ලෙස යෝජනා කර තිබෙනවා.
ඒ සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිතයි. ඒ වගේම අපේ රටේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් 25,000කට වැඩි ප්‍රමාණයක් සිටින අතර ලියාපදිංචි නොවූ අයද බොහෝ සිටිනවා.
පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ ගැටළු විසඳීම සඳහා අමාත්‍යාංශය විසින් ගමින් ගමට වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.
ඒ අනුව වයස අවුරුදු 70 ඉක්ම වූ පාරම්පරික වෛද්‍යවරුන් සඳහා විභාගයකින් තොරව ලියාපදිංචි වීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර වයස අවුරුදු 45 ට වැඩි ලියාපදිංචි නොකළ පාරම්පරික වෛද්‍යවරුන් සඳහා වාචික පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම පහසුකම මීට පෙර නොතිබුණි. සාම්ප්‍රදායිකව දැනුම රැගෙන එන බොහෝ වෛද්‍යවරුන්ට ලිඛිත විභාගයක ගැටලු ඇති වූ බැවින් වාචික විභාගයක් මගින් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර අදාළ ලියාපදිංචිය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් අප සලසා දී ඇත.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ලෙස අප උත්සාහ කරන්නේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට විසඳුමක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශක්තිමත් කිරීමටයි.
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව දීර්ඝ කාලයක් තිස්සේ ගැටලුවලට මුහුණ දුන් සංවිධානයකි. එම තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කර ගනිමින් ලාභ ලබන තත්ත්වයකට, ඉතා හොඳ ආර්ථික තත්ත්වයකට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා.
විශේෂයෙන්ම ආයුර්වේද සංස්ථාව දැන් අපනයන ක්ෂේත්‍රයට පිවිසිලා. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් දේශීය වෛද්‍ය ක්‍රමයේ දායකත්වය සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගිය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සංචාරක හෝටල්වලට ලබාදීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
මෙම වැඩසටහන දැනටමත් හොඳින් පුහුණු වූ සහතික ලත් චිකිත්සකයින් බිහි කිරීම ආරම්භ කර ඇත දේශීය වෛද්‍ය ක්‍රමය ඇදහිය නොහැකි තරම් විදේශ විනිමය උපයා ගත හැකි අංශයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පවතී.
අද ලොව පුරා ශාකසාර නිෂ්පාදන සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතී. ඒ වගේම රූපලාවණ්‍ය කර්මාන්තය කියන්නේ අද කෝටි ගණන් ගැවසෙන තැනක්. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රය තුළ දේශීය වෛද්‍ය ක්‍රමයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
පැළෑටි සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතී. මේ සියල්ලත් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ අපේ සංස්කෘතිය සමඟ පෝෂණය වූ දැනුම් පද්ධතියක් අපට තිබෙනවා.
එම දැනුමත් සමඟම නව පර්යේෂණ මත තහවුරු වූ ආයුර්වේද ක්‍රමවේද ඇත.
මේ සියල්ල එකතු කරලා අපේ රට ගොඩනගන්න දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.