කෙනෙක් ලස්සන වෙලත් - තව කෙනෙක් අවලස්සන වෙලත් ඉපදීමට හේතු.

By Wayomi Oct 09, 2022 07:35 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ ලෝකයේ මිනිසුන් බිහි වන්නේ සහ ජීවත් වන්නේ තමා කරන ක්‍රියාවන් අනුවයි. ඔබ ඒ දේ හොඳටම් දන්නවා. නමුත් ඔබ හරියට එය තේරුම් ගන්න අකමැතියි. ජීවත් වන්නේ හොඳ විදහට ද අපිට හොඳ දේවල් ලැබේවි. අපි ජීවත් වන්න අසාධාරණ .. නරක විදිහට නම් ඒ දේවල් අපිට යළි පෙරලා ලැබෙන බව සත්‍යයක්. ඒ නිසානේ මේ ලෝකේ කෙනෙක් ලස්සන වෙද්දී තව කෙනෙක් අවලස්සන. කෙනෙක් සැප විඳිද්දී, තව කෙනෙක් දුක් විඳින්නේ. කෙනෙක් නිරෝගී වෙද්දී තව කෙනෙක් ලෙඩ වෙන්නේ.

ඉතින් අපි බලමු එවැනි හොඳ නරක ප්‍රතිඵල ලැබෙන්න හේතු වන කරනු මොනවද කියලා.


අඩු වයසින් මියයාමට හේතුව

🍂 යම් මනුෂ්‍යයෙකු විසින් මේ ආත්ම භවයෙහි දී හෝ පෙර ආත්ම භවයේදී සතුන් මරයිද, ලේ වැකුණු දෑත් වලින් යුතුව රුදුරු ලෙස සත්වයන්ගේ ප්‍රාණය තොර කරයි ද, ඔහු /ඇය මරණින් පසුව දරුණු ගති ඇති සතර මහා අපායෙහි උපත ලබයි.

🍂 යම් හේතුවකින් නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි උපත ලැබුවහොත් උපන් සැණින් හෝ කුඩා කාලයේ දී හෝ අඩු වයසින් මිය යයි. මෙය සතුන් මරන පුද්ගලයාට හිමිවන අකුසල විපාකයයි.

දීර්ඝායුෂ ලැබීමට හේතුව

🍂 යම් මනුෂ්‍යයෙකු විසින් මෙලොව ජීවත් ව සිටින විට සතුන් නොමරයි ද, පර පණ නැසීමෙන් වැළකී සිටී ද හෙතෙම මරණින් මතු සුගතියේ හෙවත් දිව්‍ය ලෝකයේ උපත ලබයි.

🍂 නැවත මනු ලොව උපත ලද හොත් විඳීමට ඇති උපරිම ආයුෂ වින්දනය කොට මිය යනවා.



රෝගී වීමට හේතුව

🍂 යම් මනුෂ්‍යයෙකු විසින් මෙලොව ජීවත්වන විට සතුන්ට හිංසා පීඩා කරයි ද, හෙතෙම මරණින් පසුව දරුණුගති ඇති සතර අපායෙහි උපදී.

🍂 නැවතත් මනුලොව උපත ලද හොත් ඒකාන්තයෙන්ම විවිධ රෝගාබාධවලට ගොදුරු ව අප්‍රමාණ දුක් විඳියි. මේ සත්ත්ව හිංසාව කරන්නාට අත්වන අකුසල විපාකයයි.

නිරෝගී වීමට හේතුව

🍂 යම් මනුෂ්‍යයෙකු විසින් මෙලොව ජීවත් වන විට සතුන්ට හිංසා පීඩා නොකර ආදරයෙන් රැක බලාගනී ද හෙතෙම මරණින් පසු සුගති‍යේ උපත ලබයි. එසේත් නොමැතිව, නැවත මනුෂ්‍යයෙකුම වී නම් නීරෝගී සුවයම අත්විඳියි. මේ සත්ත්ව හිංසාව නොකරන්නාට ලැබෙන කුසල විපාකයයි.


විරූපී වීමට හේතුව (අවලස්සන වීමට හේතුව)

🍂 යම් මනුෂ්‍යයකු මෙලොව ජීවත් වන විට රුදුරු මුහුණැතිව නිරන්තරයෙන් ම කෝප වන සුළු වේ ද, තරහ යන සුළු වේද, හෙතෙම මරණින් පසුව සතර අපායෙහි උපත ලබයි. ‍ නොමැතිව නැවතත් මනුෂ්‍යයෙකු වී නම් ඔහු ඒකාන්තයෙන් ම දැකීමටඅප්‍රසන්න විරූපී පුද්ගලයෙකු වේ.

සුරූපී වීමට හේතුව (ලස්සන වීමට හේතුව)

🍂 යම් මනුෂ්‍යයෙකු මෙලොව ජීවත්වන විට ප්‍රිය මනාප ලෙස අන් අයගේ නෙත් සිත් සතුටු වන පරිදි කථා කරමින් සිනාමුසු මුහුණින් කල් යවයි ද, හෙතෙම මරණින් පසුව සුගතියේ හෙවත් දෙව්ලොව උපදී.

🍂 නැතහොත් නැවත මෙම මනුෂ්‍ය තලයෙහි ම උපත ලදහොත් ඉතා සුරූපී ව පැහැපත් ව දිදුලන සම් හිසකෙස් ඇතුළු ශරීරයක් ඇතිව උපත ලබයි.


අල්පේ ශාඛ්‍ය (ප්‍රසිද්ධත්වය නැතිවීමට හේතුව)

🍂 යම් මනුෂ්‍යයෙකු විසින් මෙලොව ජීවත් ව සිටින විට වෙනත් මනුෂ්‍යයෙකුට ලැබෙන වරප්‍රසාද, බහුමානය, වැඳුම් පිදුම් දෙස බලා එසේ වැඳුම් පිදුම්, ගරු සම්මාන සත්කාර ලබන එම මනුෂ්‍යයාට ඊර්ෂ්‍යා කරයි ද, ඔහුගේ කීර්ති නාමය විනාශ කිරීමට කටයුතු කෙරේද, එවැනි දෑ කරන හෝ කරවන මිනිසා ඒකාන්තයෙන්ම පරලොව දී දුගතිගාමී වෙති.

🍂 එසේ නොමැතිව නැවත මනුෂ්‍යයෙකු ම වුවහොත්, සැපයෙන් පහව අඩු වංශයක උපදී. (එනම් කොපමණ උත්සාහ කළත් කිසිම නම්බුනාමයක් ගැනීමට හෝ වරප්‍රසාදයක් ලබාගැනීමට නොහැකිව අල්පේ ශාක්‍යව උත්පත්තිය ලැබීමයි. )

මහේශාක්‍ය (ප්‍රසිද්ධත්වය ඇතිවීමට හේතුව)

🍂 යම් මනුෂ්‍යයෙකු විසින් මෙලොව ජීවත් ව සිටින විට වෙනත් මනුෂ්‍යයෙකුට ලැබෙන වරප්‍රසාද, බහුමාන, වන්දනා මාන කටයුතු දෙස බලා එසේ වැඳුම් පිදුම් ගරු සම්මාන සත්කාර ලබන එම මනුෂ්‍යයාට ඊර්ෂියා නොකරයි ද ඔහුගේ කීර්ති නාමය විනාශ කිරීමට කටයුතු නොකෙරේ ද ඒ අයුරින් යහපත් දිවි පැවැතුම් ඇති අන් අයගේ දියුණුවට, අකුල් නොහෙළන පුද්ගලයා ඒකාන්තයෙන් ම පරලොව දී සුගතිගාමී වේ. සැපයෙන් ආඪ්‍ය දෙව්ලොව උපදී. එසේ නොමැතිව නැවත මනුෂ්‍යයෙකු ම වුවහොත් උසස් සැප ඇති මහේශාක්‍ය වංශයක උපදී (එනම් උපතින් ම කීර්ති නම්බු නාම ලැබී සැපයෙන් උසස් තැනක උපත ලැබීමයි)


අඩු සම්පත් ඇතිවීමට හේතුව

🍂 යම් මනුෂ්‍යයෙක් මෙලොව ජීවත් ව සිටිය දී ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය දානය, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යන මෙම සිවුපසය තමන්ට පූජා කිරීමට හැකියාව තිබිය දී පූජා නොකරයි ද, හෙතෙම මරණින් පසුව (පරලොව දී) දුගතිගාමී වෙයි. යම් හෙයකින් මනුෂ්‍යයෙකු වුවහොත් අඩු සම්පත් ඇතිව උපත ලබයි.

ධනපතියෝ වීමට හේතුව

🍂 යම් මනුෂ්‍යයෙක් මෙලොව ජීවත් ව සිටිය දී ස්වාමින් වහන්සේලාට අවශ්‍ය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය තමන්ට හැකි පමණින් හෝ පූජා කරයි ද, හෙතෙම මරණින් මතු සැප සම්පත්වලින් පිරුණු දෙව්ලොව උපදී. එසේ නොමැති ව නැවත මනුෂ්‍යයෙකු ම වුවහොත් සැප සම්පත් වලින් ආඪ්‍යව උපදී (එනම් උත්පත්තියෙන් ම ධනයට, බලයට ගරු සත්කාර වලට හිමිකම් කියයි.)


පහත් කුලයේ ඉපදීමට හේතුව

🍂 යම් මනුෂ්‍යයෙක් මේ ලොව ජීවත් වන විට අධික මාන්නය පෙරටු කොටගෙන තමා උසස් කොටගෙන අනුන් පහත්කොට සලකා සිටී ද එම හුදු මිනිසා ඒකාන්තයෙන් ම පරලොව දී දුගතිගාමී වී නරකාදියෙහි උපත ලබයි.

🍂එසේ නොමැතිව නැවත මනුෂ්‍යයෙකුම වුවහොත් මාන්නයෙන් හිස උදුම්මවාගෙන සිටි පාපයේ විපාක වශයෙන් සමාජය විසින් ගණන් නොගන්නා පහත්ම කුලයේ උපත ලබයි. මෙය මානාධික පුද්ගලයාට හිමි වන අකුසල විපාකයයි.

උසස් කුලයේ ඉපදීමට හේතුව

🍂 යම් මනුෂ්‍යයකු මේ ලොව ජීවත් වන විට අධික මාන්නය නැත්තේ වේද, පිදිය යුත්තන් පුදයි ද, ගරු කටයුතු අයට ඒ ඒ සම්මාන සත්කාර කරයි ද හෙතෙම පරලොව දී ඒකාන්තයෙන්ම සුගතීගාමී වෙයි.

🍂 එසේ නොමැතිව නැවත මනුෂ්‍යයෙකු ම වුවහොත් සමාජය විසින් පිළිගත්තා වූ උසස්ම, කුලයේ උත්පත්තිය ලබයි. මෙම මාන්නය නොමැති යහපත් මනුෂ්‍යයාට හිමිවන කුසල විපාකයයි.


අණුවන වීමට හේතුව

🍂 යම් මනුෂ්‍යයෙකු විසින් මෙලොව ජීවත් වන විට ධර්මය නිසියාකාරව නොදනී ද, ධර්මය දන්නා වූ ස්වාමින් වහන්සේ නමක් අභියසට හෝ ගොස් අසා දැන නොගනී ද, බණ දහම් පොත් නොකියවයි ද, බණ දහම් ලියා ඇති පොත් පත් ඉරා දමයි ද, ගිනි තබයි ද, පසෙකට විසිකර දමයි. ඒකාන්තයෙන් ම ඒ මනුෂ්‍යයා මිය ගිය පසුව දරුණු ගති ඇති නරකාදියේ උපදී.

🍂 නැතහොත් නැවත මනුෂ්‍යයෙකු ම වුවහොත් අඥාණ ගති ඇතිව මෝඩව උපදී. නැතහොත් මන්දපෝෂිත ව හෝ ගොළුව බිහිරිව උඵදී. මේ ධර්මයට ගරහන පුද්ගලයාට හිමිවන අකුසල විපාකයයි.

නුවණැති වීමට හේතුව

🍂 යම් මනුෂ්‍යයෙකු විසින් මෙලොව දී ජීවත් වන විට නිරන්තරයෙන් ධර්මය අඩංගු පොත පත කියවා ඒවාහි අඩංගු ධර්ම කරුණු මනාව තේරුම්ගෙන, නොදන්නා වූ ධර්ම කරුණු ධර්මධර, විනයධර පිංවත් ස්වාමින් වහන්සේලා වෙත ගොස් විචාරා දැන ගනී ද.

🍂 ඒකාන්තයෙන්ම පරලොව දී බොහෝ සැප ඇති බෝසත්වරු පවා වැඩ වසන තුසිත දෙව්ලොව උපදී. එසේ නොමැති ව නැවතත් මනුෂ්‍ය ආත්ම භවයකම උපත ලදහොත් සියලු දේ මනාව තේරුම් ගත හැකි නුවණකින් යුතු ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමේ හැකියාව ලැබේ. මේ ධර්මයට ගරු කරන පුද්ගලයාට හිමිවන කුසල විපාකය.   



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW