මහජනතාවට තර්ජනය කළ බවට චෝදනා ලැබූ උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 26, 2026 11:05 AM GMT
Report

රාජකාරියට නොගැලපෙන අයුරින් හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ වතුපිටිවල ආයෝජන කලාප පොලිස් මුරපොළට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුගිය ජූලි 23 වනදා වතුපිටිවල රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී අදාළ නිලධාරියා නිල ඇඳුමින් රාජකාරියට නොගැලපෙන අයුරින් හැසිරුණු බවට ලැබුණු චෝදනා සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බවය.

පුද්ගලයෙකු විසින් එම ආයතනය ඉදිරිපිට යතුරුපැදියක් නතර කිරීමේ සිද්ධියක් මුල් කරගෙන, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඔහුට තර්ජනාත්මක ලෙස බැණ වැදුණු ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වී තිබිණි.

අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ සහ සමස්ත රාජ්‍ය සේවයේ කීර්තිනාමයට හානි සිදුවන බව සලකා, ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව ඔහුගේ රාජකාරී වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කළ බව පොලීසිය ප්‍රකාශ කළේය.

නීතිය හා විනය ආරක්ෂා කිරීමේ වගකීම දරන නිලධාරීන්ගෙන් මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන බවත්, මහජනතාවගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කැපවී සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.