ශ්‍රි.ල.නි.ප. අපේක්ෂකයාට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු වෙයි..මැදමුලනෙ අයෙකුත් අල්ලයි..
මිද්දෙනිය , ගල්පොත්තෙයාය - ජූලම්පිටිය මාර්ගයේ පිහිටි අතුරු මාර්ගයකදී ශ්‍රි.ල.නි.ප. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙනිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ හිස් පතොරම් කොපුවක් සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සැකකරු ජූලම්පිටිය ,ගල්පොත්තෙයාය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර, 25 හැවිරිදි ඔහු රැකියාව ලෙස ඇලුමිනියම් වැඩ කරන අයෙකු බවයි පැවසෙන්නේ.
මෙම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට මැදමුලන ,මැදගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගලුම් හල් සේවකයෙකු ද අත් අඩංගුවට ගත් බවද මිද්දෙනිය පොලිසිය පවසයි.
පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, විදේශයක සැඟව සිටින මිද්දෙනිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ නියෝගයක් අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවයි.
ඉකුත් 21 දා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ප්‍රභාත් ඉන්දික නමැති 39 හැවිරිදි තිදරු පියෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.