ශිරන්ති රාජපක්ෂට ඇප

World Artificial Intelligence Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 16, 2026 10:33 AM GMT
Report

‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව, ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එමෙන්ම, ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කර තිබේ. අදාළ විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් නීතිවිරෝධී ලෙස ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.