වැඩි මිලට තිරිඟු පිටි වික්කොත් වැඩ වරදී

Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 21, 2026 11:33 AM GMT
Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

අදාළ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් වූයේ මාධ්‍ය වාර්තා හරහා බවයි.

මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වීමට නියමිතය.

"තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති බවට වූ පුවතක් මාධ්‍ය නිවේදනය කළා. නමුත් මේ සම්බන්ධව පාරිභෝක අධිකාරිය හැටියට අපව දැනුම්වත් කිරීමක් සිදුවෙලා තිබ්බේ නෑ.
අපි දැනගත්තෙත් මාධ්‍ය මගින් ප්‍රචාරය වූවාට පසුව. ඒ දැනගත් විගසම අපි තිරිඟු පිටි නිෂ්පාදනය කරන ආයතනවලට ඔවුන්ගේ මිල වැඩි කිරීමට හේතුව සහ මිල වැඩි කරා නම් ඒ කොපමණ මුදලකින් වැඩි කරාද කියන තොරතුරු විමසීමක් කලා. මේ වනවිට ඊමේල් පණිවුඩ මගින් අපි ඔවුන්ගෙන් තොරතුරු විමසීමක් කර තිබෙන්නේ.
කෙසේ නමුත් තිරිඟු පිට මිල වැඩි කිරීමට එරෙහිව අප අද දිවයින පුරා වැටලීම් සිදු කරනවා. වැඩි මිලට පිටි අලෙවි කරන්නන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. මේ සම්බන්ධව ආයතන වශයෙන් එවන් ලද පිළිතුරු අනුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
අපගේ පනත අනුව තිරිඳු පිටි නිශ්චිත භාණ්ඩයක් හැටියට හඳුන්වලා දී තියෙනවා. ඒ අනුව පිටි මිල සංශෝධනය කරනවා නම් පාරිභෝග කටයුතු අධිකාරිය දැනුවත් කරලා ඔවුන් අපත් සමග සාකච්ඡා කරලා යම් එකඟතාවකට ඇවිල්ලා තමයි මිල ඉහළ දැමීමක් සිදුකළ යුතු වන්නේ.
මේ දක්වා එලෙස සාකච්ඡාවක් හෝ අපව දැනුම්වත්කිරීමක් හෝ සිදුවෙලා නැහැ. ඒ නිසා අප ඔවුන්ගෙන් නියමානුකූලව විමසීමක් කරලා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න මැදිහත් වෙනවා. වැඩිමලට විකුණන අයට විරුද්ධව අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා"