අයවැය දෙවන වර කියවීමේ අවසන් දිනය ඇරඹේ. - (UPDATE / LIVE )
3.25 P.M. - "මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම මඩ ගෑවෙනවා."
ආර්ථිකය සම්බන්ධයෙන් තමන්ට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රශ්න නැගුවේ, එක එක අයගේ අයිතිය නැති කිරීමට කතා කරන උදවිය එදා කටයුතු කරපු ආකාරය හොඳට මතක බවත්, චෝදනාවක් නැගූ පමණින් මඩ වලට උත්තර දීමට අවශ්‍ය දැයි යනුවෙනි.
එමෙන්ම මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම මඩ ගෑවෙන බවත් කාගේ හෝ අයිතියක් නැති කිරීමට කතා කරන අය මුලින්ම ජනතාවගේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්නැයි ඔහු ඉල්ලා සිටිනවා.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මෙම අදහස් ප්‍රකාශ කළේ, පර්ලිමෙන්තුවේ අද(21) අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීයි.
පාර්ලිමේන්තුවේ අද ඇති වූ උණුසුම් තත්ත්වය
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද (21) රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කඩාවැදුණා.
ඒ , විපක්ෂනායකවරයා ස්ථාවර නියෝග 27/(02) යටතේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසකට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයත් සමඟයි.
එහිදී වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරියා විපක්ෂනායකවරයා ඉදිරිපිට රැදී සිටිමින් ඔහුට ආරක්ෂාව සලසනු ලැබුවා. එම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විපක්ෂනායකවරයාගේ මයික්‍රෆෝනයෙන් අදහස් දක්වමින් විරෝධය පෑ අතර පාර්ලිමේන්තුව විනාඩි 05කට කල්තැබීමට කථානායකවරයා තීරණය කළා.
.............................................................................................................................................
අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ කෙරුණේ විනාඩි 15 කට පසුවයි.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා.
පසුගිය 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය ඊට පසු දින ආරම්භ කළ අතර ඒ අනුව අද අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අතර පස්වරු 06.00ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.