මෙරට පාසල් සිසුන් අතර ඇති පිළිකා අවධානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. - (PHOTOS)
මෙරට පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
වෛද්‍යවරු පවසන්නේ, පාසල් සිසුන්ගේ හා වයස අවුරුදු විස්සට අඩු දරුවන්ගේ මුඛයෙහි සහ තොල වටේ සුදු පැහැයක් පවතින්නේ නම් එය මුඛ පිළිකාවක ලක්ෂණයක් විය හැකි බවයි.
ජාතික දන්ත රෝහලේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.පී.එස්. කරුණාතිලක පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම කරුණු අවධාරණය කරනු ලැබුවා.
එහිදී ඔහු කියා සිටියේ, මෙම මුඛ පිළිකා තත්වයට හේතුක් වී ඇත්තේ, විශේෂයෙන්ම පාසල් සිසුන් පැකට් කරන ලද විට කෑමට පෙලඹී තිබීම බවයි.
එමෙන්ම මේ පිළිබඳව දැනුවත් වී ඔවුන් ඉන් මුදා ගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
මේ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ,ජාතික දන්ත රෝහලට මුඛ පිළිකා සහ පූර්ව පිළිකා වැලඳුන රෝගින් 5-20 ත් අතර පිරිසක් දිනපතා පැමිණෙන අතර ඉන් වැඩි පිරිසකගේ මුඛ පිළිකා තත්ත්වයට මුල් අවධියේදීම පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකි බවයි.
විශේෂයෙන් පාසල් සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාසලේ දන්ත ශල්‍යාගාරයේ වෛද්‍යවරයාට කළහැකි බවත් එසේ නොමැති නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන දන්ත චිකිත්සක නිලධාරිවරයා හමුවී ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.
එමෙන්ම මුඛ පිළිකා වැඩි වශයෙන් සෑදෙන්නේ බුලත් විට කෑමෙන් බව අනාවරණය වී ඇති අතර ජනතාවගෙන් 49% ක් බුලත් සමඟ දුම්කොළ කෑම සිදුකරන බවත් එම තත්ත්වය වළක්වා ගත යුතු බවත්, සතියකට වරක් හෝ මුඛය පරික්ෂා කිරීම වැදගත් බවත්, වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.