අතුරුදන් වූ පාසල් සිසුවා ගැන නවතම තොරතුරු...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 18, 2022 11:59 AM GMT
Report

කොට්ටාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඉකුත් 09 දා සිට අතුරුදන්වී ඇතැයි කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. පන්නිපිටිය, කොට්ටාව හයිලෙවල් පාරේ නිවසක පදිංචිව සිටි අදාළ දරුවා හමුවීමට ඉකුත් 09 දා දහවල් නිවසේ රැඳී සිටියදී ඔහුගේ පාසල් මිතුරන් දෙදෙනෙකු නිවසට පැමිණ තිබේ.

පසුව ඉන් එක් අයෙකුගේ ජංගම දුරකථනයක අලුත්වැඩියාවක් සඳහා අදාළ සිසුවා ගේ හැඳුනුම්පත ඇපයට තබා ඇති බැවින් එය ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස පවසා ඔවුන් නිවසින් බැහැරට කැඳවා ගෙන ගොස් තිබුණි. එහෙත් රාත්‍රී 10 පමණ වන තෙක් දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් ඇමතුමක් දී විමසීමේ දී ඔහු දහවල් 2ට පමණ නැවත නිවසට යාම සඳහා පිටව ගිය බව අදාළ ස්ථානයෙන් පවසා ඇත.

ඒ අනුව අතුරුදන් වූ දරුවාගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර පසුව අවට ස්ථාන කිහිපයක සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි. ඒ අනුව එදින දහවල් 2ට පමණ මිතුරාගේ අවශ්‍යතාවය ඉටුකරදී පා ගමනින් කොට්ටාවට පැමිණ හෝමාගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අසලට ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.

පසුව එම ස්ථානයෙන් පිටත්ව මාකුඹුර බෝ ගස අසලට පැමිණ පාදුක්ක සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට නැග නැවත කොළඹ දෙසට පැමිණ ඇතත් මේ දක්වා නිවසට පැමිණ නොමැති බව පොලීසිය පවසයි.

ඒ අනුව අතුරුදන් වූ දරුවා රැගෙන ගිය බව පැවසෙන මිතුරන් දෙදෙනා සහ ඉන් එක් අයෙකුගේ පියා පොලීසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් දරුවා ආගිය අතක් සොයාගැනීමට ප්‍රමාණවත් තොරතුරක් මෙතෙක් අනාවරණය නොමැති බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now