වෙළඳ පොළේ සීනි සහ සම්බා සහල් වලට වෙලා තියෙන දේ
මේ වන විට සීනි සහ සම්බා සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ සීනි සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබේ.
මේ හේතුවෙන් පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත් ව ඇති බව වාර්තා වේ. ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමිමට පසුගියදා රජය පියවර ගත්තේය.
බදු වැඩි කිරීමත් සමඟ බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමූ අතර, එය පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදු විය.
ඒ, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 275ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් ලෙසිනි. සීනි හිඟය සම්බන්ධයෙන් පිටකොටුව තොග වෙළෙඳුන් ගෙන් කළ විමසීමේ දී ඔවුන් ද සඳහන් කළේ, අලෙවිය සඳහා සීනි තොග නොලැබෙන බවයි.
පවතින සීනි හිඟයට අමතර ව මේ වන විට සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් ද නිර්මාණය වී තිබේ.
කෙසේ වෙතත් පනවා ඇති පාලන මිලෙන් බැහැර ව සීනි සහ සහල් අලෙවි කරන පුද්ගලයන් සොයා සිදු කරන වැටලීම් අඛණ්ඩ ව දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.