ජනතාව මනඃකල්පිත ලෝකයක හිරකරලා - රට පාලනය බැරි නම් දක්ෂයන්ට භාර දෙන්න - ජගත් කුමාරගෙන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්

SLPP Namal Rajapaksa Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Nov 05, 2026 10:08 AM GMT
Report

රජය සහ ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකරමින්, තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදුකර ජනතාව මනඃකල්පිත ලෝකයක ජීවත් කරවීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා චෝදනා කරයි.

ආණ්ඩුව බලයට පත්වීමේදී ජනතාවට විශාල පොරොන්දු සහ බලාපොරොත්තු ලබාදුන්නද, මේ වන විට ජනාධිපතිවරයා විවිධ ස්ථානවලදී විවිධ ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමඟ යවන බවද ඔහු සඳහන් කළේය.

රජය බදු වැඩි කර නොමැති බව ප්‍රකාශ කළද, අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු විවිධ අංශවල බදු ඉහළ දමා ඇති බවත්, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු අඩු කරන බවට ලබාදුන් පොරොන්දු ඉටුකර නොමැති බවත් ජගත් කුමාර මහතා පෙන්වා දුන්නේය.

ජනතාව මුහුණ දෙන ආර්ථික හා සමාජීය ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවටද ඔහු චෝදනා කළේය.

එමෙන්ම, ජනතාවට දිනකට ආහාර වේල් තුනක් ලබාදීම, සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සහ විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීම වැනි පොරොන්දු ලබාදුන් රජය මේ වන විට විදුලි ගාස්තු ඉහළ නංවා ඇති බවද ඔහු පැවසීය. මේ වසරේදී පමණක් විදුලි බිල්පත් දෙවරක් ඉහළ දමා ඇති අතර, නැවතත් 2.8 ගුණයකින් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිදුකරන ප්‍රකාශ විවේචනය කළ ජගත් කුමාර මහතා, රජයට ජනතාව අතර පවතින සැබෑ ජනමතය දැනගැනීමට අවශ්‍ය නම් වහාම මැතිවරණයක් පවත්වන ලෙස අභියෝග කළේය. ඒ සඳහා ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයද උදාහරණයක් ලෙස ඔහු ගෙනහැර දැක්වීය.

තවද, රජයට එරෙහිව ජනතා විරෝධතා සහ නැගිටීම් ඇතිවීමේ අවදානම හමුවේ ඒවා මර්දනය කිරීම සඳහා නව නීති ගෙන ඒමට රජය උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය.

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත හරහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කිරීමට උත්සාහ කරන බව පැවසූ ඔහු, එම පනත් මගින් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ජනතාවට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමේ අවදානමක් පවතින බවද ප්‍රකාශ කළේය.

මේ අතර, සංචාරක සංවර්ධන කාර්යාංශයේ අරමුදල් භාවිත කරමින් රජයේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් විශාල මුදලක් වැය කරන බවටද ජගත් කුමාර මහතා චෝදනා කළේය. එම මුදල් රජයේ මුදල් නොවන බවට ප්‍රකාශ කළද, මහජන බදු මුදල්වලින් පවත්වාගෙන යන ආයතන සතු අරමුදල් පොදු දේපළ ලෙස සැලකිය යුතු බව ඔහු අවධාරණය කළේය.

රජයට සහ විපක්ෂයට වෙනස් නීති ක්‍රියාත්මක විය නොහැකි බවත්, රජය තමන්ට අවශ්‍ය ආකාරයට නීතිය හැසිරවීමට උත්සාහ කරන බවත් පවසමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට පාලනය කිරීමට රජයට නොහැකි නම් එය දක්ෂ පුද්ගලයන්ට භාරදිය යුතු බවයි. ඇමරිකානු මැතිවරණ ප්‍රතිඵලයෙන් පාඩමක් ඉගෙනගෙන හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වන ලෙස රජයට අභියෝග කරන බවද හිටපු මන්ත්‍රී ජගත් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.