විපක්ෂ නායක සජිත්, ක්‍රිකට් තහනම ගැන සභාගත කළ ආන්දෝලනාත්මක ලිපිය - ෂම්මි ICCයට හොරෙන්ම ලිපියක් යවලා..රටවල් 12කටත් පිටපත්..
අද (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් අයිසීසී සභාපතිවරයාට පසුගිය අගෝස්තු 28 වැනිදා යොමුකළ ලිපියක් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අවස්ථා කිහිපයකදී ක්‍රීඩා අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා විසින් දේශපාලන මැදිහත්වීම් සිදුකළ බවයි, ප්‍රධාන කරුණු 05කින් සමන්විත එම ලිපිය මගින් පෙන්වාදෙන්නේ.
පසුගිය 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුවන දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතට ජාත්‍යන්තර ක්‍රිකට් අත්හිටුවීමක් පනවනු ලැබිණි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුවන දේශපාලනික මැදිහත්වීම් වැළැක්විමට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි, ඊට පසු දින CRICINFO වෙබ් අඩවිය වාර්තා කරනු ලැබුවේ.
එවන් පසුබිමක අද(18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ මහතාට පසුගිය අගෝස්තු 28 වැනිදා යොමුකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන දේශපාලන මැදිහත්වීම සම්බන්ධයෙන් වන ලිපියක් සභාගත කරනු ලැබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන දේශපාලන මැදිහත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත කරුණු දැක්වූ දෙවැනි අවස්ථාව මෙය බවද එම ලිපිය මගින් පෙන්වාදී තිබේ.
එමෙන්ම එම ලිපියේ පිටපත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ.ෂා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා යන මහත්වරුන් ඇතුළු රටවල් 12ක ක්‍රිකට් පරිපාලනයන් වෙත යොමුකර ඇත.